පරිසර පද්ධතියට සිදුවන බලපෑම් සැලකිල්ලට ගනිමින් 2021 වසරේදී මෙරට පනවන ලද කටුපොල් වගා තහනම ඉවත් කිරීමට අදාළ නිර්ණායක සකස් කරන ලෙස කැබිනට් මණ්ඩලය විසින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ. වැවිලි අමාත්‍යාංශය විසින් පත්කළ විද්වත් මණ්ඩල නිර්දේශවලට අනුව, මෙරට කටුපොල් වගාව දැනට පවතින හෙක්ටයාර 9,500ක ප්‍රමාණයේ සිට හෙක්ටයාර 20,000ක් දක්වා ව්‍යාප්ත කිරීමට අවස්ථාව ලබාදිය හැකි බව පෙන්වා දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ, තහනමෙන් පසු ගොනු කර ඇති නඩු කටයුතු සහ තාක්ෂණික කරුණු නිරාකරණය කර ගැනීමෙන් පසුව මෙම වගාව පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි. විදේශ විනිමය ඉතිරි කරගැනීමේ අරමුණින් යුතුව, 2025 වසරේදී පමණක් මෙරටට පාම් තෙල් මෙට්‍රික් ටොන් 38,210ක් සහ පොල්තෙල් මෙට්‍රික් ටොන් 33,696ක් ආනයනය කර ඇති පසුබිමක් තුළ මෙම තීරණය ගෙන තිබේ.














