පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාල ජාතික උද්‍යානයේ කලාප අංක 03, 04 සහ 05 යන ප්‍රදේශවල ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යාමෙන් වනසතුන් මුහුණ දී සිටින දැඩි ජල හිඟයට පිළියමක් ලෙස කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය මගින් සතුන් වෙනුවෙන් ජලය ලබාදීමේ විශේෂ පුණ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. යාල කලාප අංක 03, 04 සහ 05 හි උද්‍යාන භාරකාර දමිත් චන්දන මහනාම මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව, බුත්තල – කතරගම ප්‍රධාන මාර්ගය ආශ්‍රිතව වනඅලි ඇතුළු වනසතුන් බහුලව ගැවසෙන ස්වාභාවික දියකඩිති වෙත මෙලෙස ජලය සැපයීම සිදුකෙරේ. දිනෙන් දින ඉහළ යන නියං බලපෑම හමුවේ අසරණ වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම උදෙසා මෙලෙස ආගමික ස්ථානයක් පෙරමුණ ගැනීම අතිශය අගය කළ යුතු පියවරකි.
කතරගම පුරාණ කිරි විහාරය හා ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා හා උපදෙස් පරිදි මෙම සත්කාරය ක්‍රියාත්මක වේ. කතරගම කිරිවෙහෙර විහාරවාසී අලවතුරේ රතනසිරි ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් සහ කිරිවෙහෙර විහාරස්ථාන මාධ්‍ය එකකයේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් යුතුව, විහාරස්ථානය සතු ජල බවුසරය මගින් දිනපතා ජලය ලීටර 24,000 ක් පමණ මෙලෙස රක්ෂිතයේ දියකඩිති වෙත මුදාහැරේ. පසුගිය වසරේද සාර්ථකව සිදුකරන ලද මෙම පුණ්‍යකර්මය, මෙවරද අඛණ්ඩව දසවන දිනටත් සාර්ථකව සිදුකර ඇති අතර අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේද අදාළ ස්ථානයට වැඩම කරමින් මෙම සත්කාරය නිරීක්ෂණය කර තිබේ.
මිනිස් ක්‍රියාකාරකම් සහ කාලගුණික විපර්යාස හමුවේ වනසතුන්ගේ ස්වාභාවික පැවැත්ම තර්ජනයට ලක්ව ඇති මෙවන් මොහොතක, මෙලෙස අභයදානය ලබාදෙමින් සිදුකරන සමාජ සේවය පරිසර පද්ධතියේ සමතුලිතතාවය රැකගැනීමටද මහත් පිටුවහලක් වේ. ජල හිඟය හේතුවෙන් වනසතුන් ගම්වැදීම මගින් ඇතිවිය හැකි අලි-මිනිස් ගැටුම් අවම කිරීමටද මෙමගින් වක්‍ර විසඳුමක් ලැබෙන අතර, රජයේ සහ වගකිවයුතු පරිසර බලධාරීන්ගේ අවධානය මෙවැනි ප්‍රායෝගික වැඩපිළිවෙලවල් කෙරෙහි යොමුවීමේ අත්‍යවශ්‍යතාවයද මෙමගින් මනාව තහවුරු වෙයි.













