පහරදී ඝාතනය කිරීමෙන් පසු පුළුස්සා දමන ලද තරුණයෙකුගේ මළ සිරුරක් තලාතුඔය පොලිස් බල ප්‍රදේශයේ බව්ලාන ගම්මානයේ කැලෑබද ප්‍රදේශයක දමා තිබියදී අද (08) උදෑසන සොයාගෙන තිබේ. බව්ලාන ගම්මානයේ පදිංචිව සිටි පනික්ක මුදියන්සේලාගේ ශාන්ත සංජය බණ්ඩාර (29) නැමැති තරුණයා මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර, දින දෙකක් තිස්සේ ඔහු අතුරුදන් වීම සම්බන්ධයෙන් බාල සහෝදරයා විසින් තලාතුඔය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී මෙම අපරාධය අනාවරණය වී ඇත.
මියගිය තරුණයා අවසන් වරට ඇසුරු කළ මිතුරන් දෙදෙනකුගෙන් පොලිසිය විසින් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවර වී ඇත්තේ, ඔවුන් එකට මත්පැන් පානය කර පසුව ඔහුට පහරදී ඝාතනය කර මළ සිරුර පුළුස්සා මැස්සක තබාගෙන ගොස් කැලෑබද ප්‍රදේශයක සඟවා ඇති බවයි. ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (08) පැවැත්වීමට නියමිතව තිබූ අතර, තලාතුඔය පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.














