රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසියට තොරතුරු ලබාදුන් උපාය දූතයෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන පුද්ගලයින් තිදෙනෙකු සෙල්ලකතරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රධාන සැකකරු ලෙස 41 හැවිරිදි මධුක චාමර නොහොත් “මධුවා” හඳුනාගෙන තිබේ.
පොලීසිය සඳහන් කරන්නේ “මධුවා” සංවිධානාත්මක අපරාධකරුවන් ලෙස හඳුන්වන “අංගොඩ ප්‍රියංකර” සහ “රූබන්” යන පුද්ගලයන්ගේ සමීපතමයෙකු බවයි.
ඔහු සතුව තිබී උපාය දූතයාට ප්‍රහාරයක් එල්ල කිරීමට යොදාගැනීමට සැලසුම් කළ බව කියන මන්නා පිහි දෙකක්, හෙරොයින් ග්‍රෑම් 08ක් සහ පොලිස් ජීප් රථයකට සමාන ජීප් රථයක ව්‍යාජ අංක තහඩුවට අදාළ ලියකියවිලි සොයාගෙන තිබේ.
දෙවන සැකකරු ලෙස 38 හැවිරිදි නලීන් නමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06ක් සොයාගෙන තිබේ.
තුන්වන සැකකරු ලෙස 42 හැවිරිදි සුසන්ත නමැත්තෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03යි මිලිග්‍රෑම් 200ක් සොයාගෙන තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරුවන් තිදෙනා පොලිස් ජීප් රථයකට සමාන නිල් පැහැති ජීප් රථයකින් කිරින්ද ප්‍රදේශයේ උපාය දූතයා රැඳී සිටින නිවස වෙත ගොස් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවටය.
එම ඝාතනයෙන් අනතුරුව ජීප් රථය ගිනි තබා විනාශ කිරීමටද සැලසුම් කර තිබූ බව පොලීසිය පවසයි.
කෙසේ වෙතත්, සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙර අදාළ ජීප් රථය කඩුවෙල හේවාගම ප්‍රදේශයේ ගරාජයක සඟවා තිබියදී පසුගිය සැප්තැම්බර් 08 වැනිදා පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබුණි.
මෙම සිද්ධියට පසුබිම් වී ඇත්තේ 2025 නොවැම්බර් 29 වැනිදා කිරින්ද මුහුදුබඩ ප්‍රදේශයේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීමකි. එහිදී රුපියල් කෝටි 500කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 325ක් ඇතුළු සැකකරුවන් සහ වාහන අත්අඩංගුවට ගෙන තිබුණි.
එම වැටලීම සඳහා සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම යටතේ උපාය දූතයා තොරතුරු ලබාදී ඇති බව පොලීසිය සඳහන් කරයි.
එම මත්ද්‍රව්‍ය ජාවාරම පොලීසියට හසුවීමෙන් සිදුවූ අලාභයට පළිගැනීමක් ලෙස උපාය දූතයා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී තිබේ.
තවද, 2026 සැප්තැම්බර් 05 වැනිදා උදෑසන කිරින්ද වරාය දෙසට ගමන් කරමින් සිටි උපාය දූතයා අනතුරකට ලක්කර ඝාතනය කිරීමට උත්සාහ කර ඇති බවද පොලීසිය පවසයි.
එම අවස්ථාවේදී උපාය දූතයා ඉන් මිදීමට උත්සාහ කිරීමේදී තුවාල ලබා ඇති අතර, මේ වනවිට ඔහු පොලිස් ආරක්ෂාව යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.














