රණවිරු පවුල්වල සුබසාධනය, ජීවන තත්ත්වය සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පෙරහෙට්ටිය රණවිරු ගම්මානයේ සංචාරයක නිරත වී තිබේ. 2004 වර්ෂයේදී ස්ථාපිත කර ඇති මෙම රණවිරු ගම්මානයේ ආබාධිත රණවිරුවන් 7 දෙනෙකු සහ රණවිරු ඥාතීන් 16 දෙනෙකු ඇතුළු පවුල් 23ක් පදිංචිව සිටිති.
ගම්මානයේ සංචාරය කළ හමුදාපතිවරයා එහි පදිංචි රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සුහදව අදහස් හුවමාරු කර ගනිමින් ඔවුන්ගේ දෛනික ජීවිතය සහ සුබසාධන අවශ්‍යතා පිළිබඳව විමසා බැලීය. රණවිරු පවුල් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු විසඳීම සඳහා අදාළ බලධාරීන්ට උපදෙස් දුන් හමුදාපතිවරයා, රණවිරුවන්ගේ ගෞරවය, ආරක්ෂාව සහ සුබසාධනය අඛණ්ඩව ප්‍රමුඛතාවක් ලෙස සලකමින් සියලු දෙනා එකම හමුදා පවුලක සාමාජිකයන් ලෙස සලකා කටයුතු කරන බව අවධාරණය කළේය.














