ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් නව ආර්ථික සහයෝගිතා වැඩපිළිවෙළක් වෙත පිවිසීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබේ. බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි සහ බංග්ලාදේශ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FBCCI) පාලක එම්.ඩී. ෆස්ලුල් හක් මහත්වරුන් අතර ඩකා නුවර පිහිටි FBCCI ගුල්ෂාන් කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව පවත්වා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව අතර නව අවස්ථා උදාකිරීම සහ ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා වර්ධනය කරගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇති අතර, විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණය, සැපයුම් සේවා, ඖෂධ නිෂ්පාදනය, ඇඟලුම් හා රෙදිපිළි නිෂ්පාදනය, පුනර්ජනනීය බලශක්තිය සහ මූල්‍ය සේවා යන ක්ෂේත්රයන්හි සහයෝගිතාව ඉහළ නැංවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. එමෙන්ම, 2027 ජනවාරි මාසයේදී කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත ‘Sri Lanka Expo 2027’ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සඳහා බංග්ලාදේශ ව්‍යාපාරික නියෝජිත පිරිසක් සහභාගි කරවන ලෙස මහකොමසාරිස්වරයා කළ ආරාධනාවට FBCCI පාලකවරයාගෙන් හිතකර ප්‍රතිචාර හිමි වී තිබේ.
















