ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන අඛණ්ඩව ඉදිරියට ගෙන යමින්, 2026 වසරේ 1 ශ්‍රේණිය සඳහා හඳුන්වා දුන් ප්‍රතිසංස්කරණ ඉදිරියට පවත්වාගෙන යාමටත්, 2027 වසරේදී 2 සහ 6 ශ්‍රේණි සඳහා නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. අග්‍රාමාත්‍ය මෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමි වී තිබේ.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සංකල්ප පත්‍රිකාව සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන ජාතික සුක්කානම් කමිටුවේ අනුමැතිය මත මෙම පියවර ගෙන ඇත. ඒ අනුව, 2027 වසර සඳහා 1 සහ 2 ශ්‍රේණිවල තෙමසටම අදාළ ක්‍රියාකාරකම් පොත් සහ ගුරු මාර්ගෝපදේශ සකස් කරමින් පවතින අතර, 6 ශ්‍රේණිය සඳහා අවශ්‍ය මොඩියුල සහ ගුරු මාර්ගෝපදේශ ද සූදානම් කරමින් පවතී. මීට අමතරව, ප්‍රාථමික හා ද්විතීයික මට්ටමේ විෂයයන් සඳහා ප්‍රධාන උපදේශකවරුන් පුහුණු කර ඇති අතර, පාසල් පදනම් කරගත් ඇගයීම් ප්‍රතිපත්ති මාර්ගෝපදේශයක් ද සකස් කර ඇත.
















