යටත් විජිත සමයේදී විදේශ රටවලට ගෙනයන ලද ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ සහ කෞතුක වස්තු යළි මෙරටට ගෙන ඒමේ කටයුතු විධිමත් කිරීම සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
“විදේශයන් සතුව පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික උරුම ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා වන කමිටුව” ලෙස නම් කර ඇති මෙම කමිටුව, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
යුනෙස්කෝ 1970 ප්රඥප්තියේ අදාළ වගන්ති අනුව, විදේශයන් සතුව පවතින තම සංස්කෘතික දේපළ යළි ඉල්ලා සිටීමට අදාළ රටවලට අයිතිය පවතින බව සඳහන්. ශ්‍රී ලංකාව මේ සඳහා මීට පෙරද නිල වශයෙන් කටයුතු ආරම්භ කර තිබුණා.
එහි ප්‍රතිඵලයක් ලෙස නෙදර්ලන්තයේ Rijksmuseum කෞතුකාගාරයේ තිබූ කන්ද උඩරට යුගයට අයත් කාලතුවක්කු ඇතුළු කෞතුක භාණ්ඩ හයක් යළි ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා 2023දී කටයුතු කර තිබෙනවා.
නව කමිටුව මඟින් විදේශ රටවල පවතින ශ්‍රී ලාංකේය සංස්කෘතික දේපළ හඳුනාගැනීම, ඒවා යළි ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සැලසුම් කිරීම සහ අදාළ රටවල් සමඟ සෘජු සම්බන්ධීකරණය සිදුකිරීමට නියමිතයි.
















