මෙම වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් 17 වැනි දින දක්වා නීතිවිරෝධී ගිනිඅවි 891ක් පොලිස් භාරයට ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (29) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 17 දක්වා කාලය තුළ ටී-56 ගිනිඅවි 14ක්, පිස්තෝල 33ක් සහ රිවෝල්වර 25ක් ඇතුළු සමස්ත අවි සංඛ්‍යාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය වසරේදී ටී-56 අවි 74ක් ඇතුළුව මුළු අවි 2,404ක් අත්අඩංගුවට ගත් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මේ වසරේ මේ දක්වා සංවිධානාත්මක වෙඩි තැබීම් 35ක් ඇතුළුව සමස්ත වෙඩි තැබීම් සිදුවීම් 40ක් වාර්තා වී ඇති බවත්, එමඟින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වැඩිදුරටත් කියා සිටියේය.
















