ගාසා නගරයේ නස්ර් ප්‍රදේශයේ පිහිටි මහල් නිවාසයක් ඉලක්ක කර ඉශ්‍රායලය විසින් එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් උතුරු ගාසා හි හමාස් සන්නද්ධ අංශයේ ප්‍රධානියා මියගොස් ඇති බව දෙපාර්ශ්වයේම නිලධාරීන් තහවුරු කර තිබේ. 2023 ඔක්තෝබර් 07 වන දින ප්‍රහාරය සැලසුම් කිරීමට සහභාගී වූ අයෙකු ලෙස හැඳින්වෙන ඉස් අල්-දින් අල්-බීක් (Izz al-Din Al-Beik) නැමැත්තා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ජබාලියා සරණාගත කඳවුරේ සිදු වූ වෙනත් ප්‍රහාර කිහිපයකින් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් ඇත.
ගිවිසුම් කඩ කරමින් හමාස් සංවිධානය යළි සන්නද්ධ වෙමින් ප්‍රහාර එල්ල කරන බව පවසමින් ඊශ්‍රායලය මෑත සතිවලදී ගාසා තීරයේ ප්‍රහාර තීව්ර කර ඇති අතර, මෙම මස තුළ පමණක් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් ඇතුළු හමාස් සාමාජිකයන් 20 දෙනෙකු පමණ මරා දමා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, එවැනි ප්‍රහාර එල්ල කිරීමක් හෝ අවි ගබඩා කිරීමක් සිදු නොකළ බව පවසන හමාස් සංවිධානය ඊශ්‍රායලය විසින් සාම ගිවිසුම කඩාකප්පල් කරන බවට චෝදනා කරයි. මේ අතර, මීට වසර තුනකට පමණ පෙර යුද්ධයේ මුල් අවධියේදී මියගිය පුද්ගලයින් 41 දෙනෙකුගේ අවශේෂ නුසෙයිරාත් සරණාගත කඳවුරේදී මහා පරිමාණ අවමංගල්‍ය උත්සවයකින් පසු භූමදාන කිරීමටද පියවර ගෙන තිබේ.
















