සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා ශක්තිමත් සමාජ ආරක්ෂණයක්, සුරක්ෂිත සංක්‍රමණික මාර්ග සහ වැඩි ආර්ථික සුරක්ෂිතතාවක් තහවුරු කළ යුතු බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන ඇමැති අරුන් හේමචන්ද්‍ර මහතා අවධාරණය කරයි. ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) විසින් කොළඹ කිංස්බරි හෝටලයේදී සංවිධානය කරන ලද ‘Protecting Those Who Move: Advancing Social Protection in the South Asia–Gulf Migration Corridor’ මැයෙන් පැවැත්වුණු STREAM ආරම්භක පුහුණු වැඩසටහන අමතමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
විදේශ රැකියා සඳහා යොමුවීම යනු අවදානමකට ලක්වීමක් නොව අවස්ථාවන් උදාකර ගැනීමක් විය යුතු බව පෙන්වා දුන් ඒ මහතා, බඳවාගැනීමේ සිට සේවය නිමවා නැවත පැමිණීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය පුරාම ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු විය යුතු බව ප්‍රකාශ කළේය. ලියාපදිංචි සංක්‍රමණික ශ්‍රමිකයන් සඳහා වන මරණ වන්දි මුදල රුපියල් මිලියන 2 දක්වා ඉහළ නැංවීම, දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කිරීම සහ නව විදේශ රැකියා පනත් කෙටුම්පතක් සකස් කිරීම වැනි පසුගිය වසර දෙක තුළ ගෙන ඇති පියවර කිහිපයක්ද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.
















