ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 77 වැනි සංවත්සරය වෙනුවෙන් යුද හමුදා ධජයන්ට ආශිර්වාද කිරීමේ විශේෂ පිංකමක් ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිමේ සහ කතරගම මහා දේවාල පරිශ්‍රයේදී පැවැත්විණි. කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අතිපූජ්‍ය කොබවක ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ අනුශාසනා පරිදි සහ යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්නගේ සහභාගීත්වයෙන් මෙම ආගමික වතාවත් සිදු කෙරිණි.
මෙහිදී ශ්‍රී ලංකා යුද හමුදා ධජය, රෙජිමේන්තු ධජ සහ ඒකක ධජයන් වෙත ආශිර්වාද ලබාගැනීම සිදු වූ අතර, කිරිවෙහෙර විහාරස්ථානයේ යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරෙමින් පවතින “ධම්සක් බුදු මැදුරේ” නිරීක්ෂණ කටයුතුවලටද යුද හමුදාධිපතිවරයා එක් විය. අනතුරුව චාරිත්‍රානුකූලව ධජ පෙරහැරකින් කතරගම දේවාල පරිශ්‍රය වෙත ගමන් කර විශේෂ ආගමික පූජා පවත්වා ආශිර්වාද ලබා ගැනීමට කටයුතු කර ඇත.
















