ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත මඟින් මානව හිමිකම් උල්ලංඝනය වීමේ සහ මූලික අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ අවදානමක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය චෝදනා කරයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ, 2025 වසරේ අගභාගයේදී නිකුත් කළ මූලික කෙටුම්පතට ඇතැම් සංශෝධන ඇතුළත් කර තිබුණද, දිගු කලක් මර්දනකාරී ලෙස භාවිත වූ ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වාදීමට යෝජිත නව කෙටුම්පතේ ද ත්රස්තවාදය පිළිබඳ අධික ලෙස පුළුල් හා අපැහැදිලි අර්ථකථන අන්තර්ගත වන බවයි.
රජය විවේචනය කරන පුද්ගලයන්, මතභේදාත්මක අදහස් දක්වන්නන් සහ සුළුතර කණ්ඩායම්වලට එරෙහිව මෙවැනි නීති අතීතයේදී භාවිත කර ඇති බැවින්, නව නීතිය සකස් කිරීමේදී දැඩි අවධානයක් සහ පරීක්ෂාවක් අවශ්ය බවද එම සංවිධානය අවධාරණය කරයි. අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත ඇතිවීමට ඉඩ සැලසීම වෙනුවට, එවැනි තත්ත්වයන් වැළැක්වීම නව පනතේ අරමුණ විය යුතු බවද එහි සඳහන් වේ.
එමෙන්ම, ත්රස්තවාදය සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයන් වසරක් දක්වා රඳවා තැබීමටත්, නඩු විභාගය ආරම්භ කිරීමට පෙර තවත් වසරක කාලයක් රඳවා තැබීමටත් යෝජිත පනත මඟින් අවසර ලැබෙන බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් පවසයි.
ඒ අනුව, නඩු විභාගය ආරම්භ වීමට පෙර පුද්ගලයකු වසර දෙකක් දක්වා රඳවා තැබීමට හැකිවීම සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය ඇතුළු මානව හිමිකම් සම්බන්ධයෙන් බරපතළ ගැටලු මතු කරන බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
















