කොස්ටාරිකාවේ අගනුවර වන සැන් හොසේ නගරයට පිටතින් ඉදිකළ නව උපරිම ආරක්ෂක බන්ධනාගාරයට පළමු රැඳවියන් 123 දෙනා ඇතුළත් කර ඇති බව එරට අධිකරණ අමාත්යාංශය ප්රකාශ කර තිබේ.
එල් සැල්වදෝර් රජයේ සහාය ද ඇතිව ඉදිකළ මෙම බන්ධනාගාරය, “සංවිධානාත්මක අපරාධ මර්දනය සඳහා වන ඉහළ රැඳවුම් මධ්යස්ථානය” (CACCO) ලෙස නම් කර ඇත.
කොස්ටාරිකා ජනාධිපති ලෝරා ෆර්නැන්ඩස්ගේ රජය, රට තුළ පවතින ආරක්ෂක අර්බුදයට පිළියමක් ලෙස දැඩි අපරාධ මර්දන ප්රතිපත්තියේ කොටසක් වශයෙන් මෙම මධ්යස්ථානය හඳුන්වා දී තිබේ.
“කොස්ටාරිකාව සිය බන්ධනාගාර ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ලියමින් සිටිනවා” යැයි එරට අධිකරණ අමාත්ය ගේබ්රියෙල් අගිලර් ප්රකාශ කර ඇත. සංවිධානාත්මක අපරාධවලට එරෙහිව පියවර ගැනීමට මෙන්ම බන්ධනාගාර පද්ධතියේ තදබදය අඩු කිරීමට ද මෙම මධ්යස්ථානය උපකාරී වනු ඇති බව ඔහු සඳහන් කර තිබේ.
රැඳවියන් 5,100ක් රඳවා තැබීමේ ධාරිතාවයෙන් යුත් මෙම බන්ධනාගාරය, කොස්ටාරිකාවේ සමස්ත බන්ධනාගාරගත ජනගහනයෙන් සියයට 20කට පමණ ඉඩකඩ සපයන බව වාර්තා වේ.
















