වානිජ බැංකුවල වත්කම් ආණ්ඩුවට ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් මේ රට ගොඩගැනීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා අද (09 )පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ අපේ ආර්ථික මට්ටම බරපතළ ලෙස පහත වැටෙමින් තිබෙන බවයි. එසේම කොවිඩ් වසංගතය එන්න කලින් 2020 පළවැනි කාර්තුවේදීම -1.6ක මට්ටමට වැටුණු අතර දෙවැනි කාර්තුව වනවිට ඒක තවත් බරපතළ වු බව හෙතෙම පැවසීය.
එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සුනිල් හදුන්නෙත්ති මහතා රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් මෙසේ පැහැදිලි කලේය. “ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාව පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අපේ රටේ ආර්ථිකය පිළිබඳව මේ වාර්තාවෙන් ඉදිරිපත් වෙන කරුණු ගණනාවක් තිබෙනවා. රටක් හැටියට අද වෙනකොට මුහුණ දීලා තියෙන බරපතළම තත්වය කොවිඩ්-19 වසංගතය. මේ හමුවේ ජනතාව බරපතළ පීඩාවකට ලක්වෙලා. වාර්තා වෙන ආකාරයට ආසියාවේ දෙවැනි තැනට වර්ධනය වීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබෙනවා. නමුත් මේ තත්වය තුළත් ආර්ථිකය ඉදිරියට ගෙනයන්න සිදුවෙලා තිබෙනවා. අපි පහුගිය කාලයේ දිගින් දිගටම අවධාරණය කළේ අපේ ආර්ථික මට්ටම බරපතළ ලෙස පහත වැටෙමින් තියෙන්නේ කියලා. කොවිඩ් වසංගතය එන්න කලින් 2020 පළවැනි කාර්තුවේදීම -1.6ක මට්ටමට වැටුණා. දෙවැනි කාර්තුව වනවිට ඒක තවත් බරපතළ වුණා.
ආණ්ඩුව දිගින් දිගටම මතු කරන්නේ 2020 ආර්ථිකය වැටීමට ප්‍රධානම හේතුව කොවිඩ් වසංගය බවයි. මහබැංකු වාර්තාව එහෙම් පිටින්ම දක්වා තිබෙන්නෙත් ප්‍රධාන හේතුව කොවිඩ් වසංගතය බවයි. නමුත් ඇත්තටම කොවිඩ් වසංගතයට මුහුණ දෙමින් සිටින්නේ දැන්. මහබැංකුව ඉදිරිපත් කරලා තියෙන තොරතුරු හා දත්ත විශ්ලේෂණය කරලා බැලුවම කොවිඩ් වසංගයට මුහුණ දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මතුවෙනවා. අවුරුදු 73ක් පාලකයන් මේ රට ගෙනැල්ල තියෙන තැන ආර්ථිකයක් ඉතිරි වෙලා තියෙනවාද කියන ප්‍රශ්නය මතු වෙනවා. ලංකා ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදයට අපි මුහුණ දෙමින් ඉන්නේ. ඒ වගේම බරපතළම වසංගත තත්වයකටත් මුහුණ දෙමින් ඉන්නේ. මහ බැංකු වාර්තාවෙන් කරුණු කාරණා සළකා බලන්න වෙන්නේ මේ පසුබිම තුළ.
සාමාන්‍යයෙන් අපේ රටේ ආර්ථික වර්ධනය දිගටම තිබුණා. නමුත් 1950න් පස්සේ 2020 වනවිට සෘණ ආර්ථිකයේ වැඩිම පංගුව වෙච්ච 3.6ක ප්‍රමාණය වාර්තා වෙනවා. 2019ත් එක්ක සන්සන්දනය කරනකොට ඉතාමත් බරපතළ කඩා වැටීමක්. දැන් මේ තියෙන තත්වයත් එක්ක 2021 අවසානයේදී ඊටත් වඩා බරපතළ තත්වයකට පත්වීමේ ඉඩකඩ තියෙනවා. රජයේ ආදායම බරපතළ විදිහට අඩු වෙලා. ප්‍රදානයන් සහිතව රු. බිලියන 1373ක් ලැබිලා තියෙන්නේ. නමුත් රජය බිලියන 1588ක් බලාපොරොත්තු වුණා. මේ ආණ්ඩුව බලයට ආ ගමන්ම ලැබෙමින් තිබුණු බදු ආදායම් ගණනාවක් අයින් කර ගැනීම රජයේ ආදායම් අහිමි වීමට ප්‍රධානම හේතුව. රු. බිලියන 450ක පමණ බදු ආදායමක් ආණ්ඩුව අහිමි කරගත්තා. උපයන විට ගෙවීම් බද්ද, රඳවා ගැනීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු, වැට් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද ආදී බදු අයින් කර දැමීමේ වාසිය ජනතාවට ලැබුණාද කියන ප්‍රශ්නය තියෙනවා. එහෙම ලැබුණා නම් 2020දී බඩුමිල අඩුවීමෙන්, සෞඛ්‍ය සේවය පැත්තෙන්, දුප්පත්කම තුරන් කිරීමේ පැත්තෙන් ජනතාවට ලැබිලා තියෙන්න ඕනෑ. නමුත් ජනතාවට ඒ සහනය ලැබිලා නැහැ.
ආණ්ඩුව හැමදාම කරපු ආකාරයට ගජමිතුරන් කිහිප දෙනෙකුට ඒ සහනය ලබාදීලා රජයේ ආදායමත් අහිමි කරගෙන. අවසානයේ ආණ්ඩුව බරපතළම වැරැද්දක් වියදම් සම්බන්ධයෙන් කර තිබෙනවා. මහබැංකු වාර්තාවේ වියදම බිලියන 3040ක් හැටියට සඳහන් කර තිබෙනවා. නමුත් 2019න් 2020ට අදාළ වියදම් ප්‍රමාණය අඩුවෙන් පෙන්වන්නේ. බිලියන 422ක වියදම් අඩුවෙන් පෙන්වා තිබෙනවා. ඒ ප්‍රමාණයත් එකතු වුණාම අයවැය පරතරය විශාල වෙනවා. මෙතෙක් ගිණුම්ගත කළ පදනම් වංචනික විදියට වෙනස් කරලා වියදම් පෙන්වලා. ඒ වගේම 2020න් ඉදිරි අවුරුද්දට යන වියදම් පෙන්වලා නැහැ. 2020 ඇත්ත වියදම් අඩුවෙන් පෙන්වපු නිසා අයවැය හිඟය -11.1කට සීමා කරලා තියෙනවා. නමුත් ඇත්ත ප්‍රමාණය අයවැය හිඟය -14 දක්වා ඉහළ යනවා. එහෙම බැලුවාම ලංකා ඉතිහාසයේ අවුරුදු 38කට පස්සේ වැඩිම අයවැය හිඟය 2020දී පෙන්වනවා. එක පැත්තකින් අඩුම ආදායම් ලබන, අනික් පැත්තෙන් වැඩිම අයවැය පරතරයක් තියෙන, ඉතිහාසයේ වැඩිම සෘණ ආර්ථික වර්ධනය ආදී වශයෙන් 2020දී ආර්ථිකය පත්වී තිබෙනවා.
රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 9.2%යි. මෙතෙක් ඉතිහාසයේ අඩුම ආදායම් පෙන්වන්නේ මේ සංඛ්‍යාවෙන්. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා සෞභාග්‍යයේ දැක්ම ගෙනැල්ලා කීවේ වියත් මග වගේ අයගෙන් උදව් අරගෙන දැනුමේ ආර්ථිකයක් හදනවා කියලා. කෘෂි ආර්ථිකය ශක්තිමත් කරනවා, නිෂ්පාදනය වැඩි කරනවා කියලා. නමුත් ඒ හැම අංශයක්ම කඩා වැටිලා. ඊට හේතුව වසංගතය පෙන්නුවාට මෙතෙක් ගෙනියපු ආර්ථික උපාය මාර්ගයේ වැරැද්ද. ආණ්ඩුව 2020ට අදාළ අයවැය ඉදිරිපත් කරද්දී අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.9ක් අපේක්‍ෂා කළා. නමුත් 2020දී 11.1 දක්වා වැඩිවීම ගැනවත් දකින්න හැකියාවක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා මහ බැංකුවටම ඔප්පු කරන්න සිද්ධ වෙලා තිබෙනවා ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගය වගේම ඉදිරි දැක්මත් නිවැරදි නැහැ කියලා. අපි දිගින් දිගටම රට ණය උගුලක හිර කරන බව පෙන්වා දුන්නා. මේ මහබැංකු වාර්තාව එය තව දුරටත් ඔප්පු කරලා තියෙනවා.
රජයේ සමස්ත නොපියවූ ණය 2019දී බිලියන 14,155යි. 2020 වනවිට බිලියන 16,427ක් බවට පත්වෙලා. මධ්‍යම රජයේ ණය පමණක් බිලියන 15,000ක්. රජයේ අනෙකුත් ආයතනවල ණය සහ ඇපකරත් එක්ක බිලියන 16,427ක් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත පමණක් බිලියන 2272කින් රටේ ණය පංගුව වැඩි කරලා තියෙනවා. 1948 ඉඳලා 2005 දක්වා දිගටම ගත් ණයවල එකතුව බිලියන 2226යි. ඛේදවාචකයේ තරම පැහැදිළි වෙන්නේ 2020දී පමණක් බිලියන 2272ක ණය ගැනීමෙන් පැහැදිළි වෙනවා. රටේ ජනතාව පැයකට රු. කෝටි 25ක් ණයකරුවන් බවට පත්කරන ආණ්ඩුවක් තියෙන්නේ. රජයේ ආදායමට වඩා අවුරුද්දකදී ලබා ගන්නා ණය වැඩි වෙලා. ආණ්ඩුව විශාල වශයෙන් ණය අරගෙන තියෙන්නේ වානිජ බැංකුවලින්. රටේ නිෂ්පාදනය සඳහා යොදවන්න තිබෙන මුදල් ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව අරගෙන තිබෙන්නේ මොන සංවර්ධන උපායමාර්ගයක්ද? මහ බැංකු වාර්තාව 194වැනි පිටුවේ මේ බවට හොඳ උදාහරණයක් තියෙනවා.
2020 වසර තුළදී රජය වෙත සපයන ලද ශුද්ධ ණය රු. බිලියන 1752කින් ඉහළ ගියේය. මහබැංකුව සහ වානිජ බැංකු පමණක් රජයට දී තිබෙන මුදල 2019දී බිලියන 2795ක් ගන්නකොට 2020දී බිලියන 4548ක් අරන් තියෙනවා. බිලියන 1700කින් ශුද්ධ ප්‍රමාණයේ ණය වැඩිවෙලා තියෙන්නේ මේ විදිහට. ඒකෙන් බිලියන 654ක්ම සල්ලි අච්චු ගහලා. රටේ ජනතාවට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන්න තියෙන මුදල් රජයේ කටයුතු සඳහා ලබාගෙන. දේශීය වශයෙන් ණය පංගුව වැඩිකරගන්න අතර විදේශ සංචිතයත් අඩුකරගෙන. විදේශ රටවල්, විදේශ ණය දෙන ආයතන අප රට සම්බන්ධයෙන් තීරණ ගන්නේ විදේශ සංචිත ප්‍රමාණය මත. අපි බරපතළ ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව අපි දිගින් දිගටම අනතුරු ඇඟවූවා. විදේශ සංචිතය 2019දී ඩොලර් මිලියන 7642ක් තිබිලා 2020 අවසන් වනවිට ඩොලර් මිලියන 5674ක් දක්වා අඩුවෙලා. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස 04 තුළදී මේ තත්වය ඩොලර් බිලියන 04ක් දක්වා අඩුවෙලා.
ආණ්ඩුව ඉදිරි අවුරුද්ද සඳහා ඩොලර් බිලියන 6.9ක විදේශ ණය ගෙවන්න ඕනෑ. ලබන ජූලි මාසයේ 27වැනිදාට ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවන්න ඕනෑ. මේ ණය ගෙවන්නේ කොහොමද? රට ඉතාම බරපතළ ආර්ථික ඛේදවාචකයකට ලක් කරලා තියෙන්නේ. ආණ්ඩුව ආර්ථිකය හදන්න හිතලවත් තියෙන බවක් අපිට පෙන්නේ නැහැ. ජනතාවත් එක්ක, නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක, කර්මාන්තත් එක්ක බද්ද වෙච්ච වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මෙතෙක් කරගෙන ආ ආකාරයටම රටේ සම්පත් විකිණීමේ ගමන ඇරෙන්න වෙන මාර්ගයක් පෙන්වලා නැහැ. ඒ නිසයි පෝට් සිටිය සම්බන්ධ මාතෘකාව ඉස්සරහට අරගෙන තියෙන්නේ. වානිජ බැංකුවල වත්කම් ආණ්ඩුවට ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් මේ රට ගොඩගන්න බැහැ කියන එක මේ මහ බැංකු වාර්තාවෙනුත් පැහැදිලි වෙනවා. අපි පහුගිය කාලයේම රටට ඉදිරිපත් කළ තොරතුරු මහ බැංකු වාර්තාවේ දත්තවලින් පවා තහවුරු කර තිබෙනවා.