ලෝක තෙත්බිම් දිනය අදට (02) යෙදී ඇති අතර තෙත්බිම් ආරක්ෂා කිරීමේ වැදගත්කම පිළිබඳව ගෝලීය අවධානය යොමු කරමින් මෙවර දිනය සමරනු ලබයි. 1971 පෙබරවාරි 02 වැනිදා ඉරානයේ රැම්සාර් නුවරදී අත්සන් කරන ලද ජාත්‍යන්තර සම්මුතිය සිහිපත් කරමින් ප්‍රකාශයට පත් කළ මෙම දිනය පසුකාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද පිළිගැනීමට ලක්විය. ශ්‍රී ලංකාව 1991 වසරේදී මෙම සම්මුතියට අත්සන් තබමින් මෙරට තෙත්බිම් සුරැකීමේ වගකීම භාරගත් අතර වර්තමානය වන විට ජෛව විවිධත්වය සුරැකීමට සහ ගංවතුර පාලනය කිරීමට තෙත්බිම් සතු දායකත්වය අතිමහත් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
‘තෙත්බිම් සඳහා ක්‍රියා කරන්න, ස්වාභාවික පරිසරය සඳහා ක්‍රියා කරන්න’ යන්න මෙවර තේමාව ලෙස නම් කර ඇති අතර දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව සහ මානව යහපැවැත්ම උදෙසා තෙත්බිම් සංරක්ෂණය කිරීමේ හදිසි අවශ්‍යතාවය බලධාරීන් අවධාරණය කරයි. ජලය ගබඩා කිරීමේ ස්වාභාවික ටැංකි ලෙස මෙන්ම පාරිසරික හානි අවම කරන ප්‍රධාන සාධකයක් ලෙස ද තෙත්බිම් වැදගත් වන බැවින්, මෙරට වටිනා තෙත්බිම් පද්ධතීන් අනවසර ගොඩකිරීම් සහ දූෂණයෙන් ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බව පරිසර ක්‍රියාකාරීහු පවසති.












