පසුගිය පෙබරවාරි 01 වැනිදා සිට අතුරුදන්ව සිටින 84 හැවිරිදි නැන්සි ගුත්‍රී (Nancy Guthrie) සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන අතරතුර, මෙම සිද්ධියට අදාළ සැකකරු සහ සුප්‍රකට ‘වෝල්මාර්ට්’ වෙළඳ ජාලය අතර පවතින සබඳතාවක් පිළිබඳව හිටපු FBI විශේෂ නියෝජිත ජෙනිෆර් කොෆින්ඩැෆර් (Jennifer Coffindaffer) කරුණු අනාවරණය කර තිබේ. ඇය පෙන්වා දෙන්නේ පැහැරගැනීම සිදුකළ පුද්ගලයා භාවිතා කළ බොහෝ දෑ වෝල්මාර්ට් ආයතනයට සම්බන්ධ ඒවා බවයි.
විමර්ශන නිරීක්ෂණවලට අනුව පැහැරගැනීම්කරු සතුව තිබූ බෑගය (Backpack) වෝල්මාර්ට් ආයතනයටම පමණක් වෙන්වූ සන්නාමයක් බවත්, ඔහු ඇඳ සිටි ඇඳුම් සහ අනෙකුත් උපාංග ද එම වෙළඳ ජාලයෙන්ම මිලදී ගත් ඒවා බවට ෂෙරිෆ් දෙපාර්තමේන්තුව සැක කරන බවත් කොෆින්ඩැෆර් සිය X (ට්විටර්) ගිණුමේ සටහන් කර ඇත. මීට අමතරව ස්වාධීන විමර්ශන මාධ්‍යවේදියෙකු පවසා ඇත්තේ සැකකරු පැළඳ සිටි ‘Hulboex’ වර්ගයේ වෙස්මුහුණ ද වෝල්මාර්ට් ඔන්ලයින් වෙළඳසැල හරහා පමණක් අලෙවි වන්නක් බවයි.
නැන්සි ගුත්‍රීගේ නිවසට ආසන්නයේ පිහිටි වෝල්මාර්ට් ශාඛාවක සේවකයෙකු පවසා ඇත්තේ සැකකරු ඇඳ සිටි ජැකට්ටුව ඔවුන්ගේ විශේෂ වට්ටම් සහිත රාක්කයක (Clearance rack) තිබූ එකක් විය හැකි බවයි. කෙසේ වෙතත් මෙම තොරතුරු මෙතෙක් ස්වාධීනව තහවුරු වී නොමැති අතර විමර්ශන නිලධාරීන් එම වෙළඳසැලේ සීසීටීවී (CCTV) දර්ශන සහ විකුණුම් වාර්තා ඔස්සේ සැකකරු හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටිති.














