හෙට සහ අනිද්දා යන දිනවලදී බෙදුම්කරුවන් වෙත සාමාන්‍ය පරිදි ඉන්ධන බෙදා හැරීම් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, ලබන මැයි මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත් පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ඉන්ධන සැපයීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේය.
ඉන්ධන ඇණවුම් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් වළක්වා ගැනීමට සහ පිරවුම්හල්වල කටයුතු පහසු කරවීමට ගෙන ඇති ක්‍රියාමාර්ග යටතේ ඉන්ධන ඇණවුම් සඳහා වන චෙක්පත් පෙර දිනයේදී ඇණවුම් අංශය වෙත හෝ තොග පර්යන්තය වෙත භාර දීමට පියවර ගන්නා ලෙස පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි. මේ අතර, සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉන්ධන බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකා අඛණ්ඩව සිදු කළ යුතු බවයි.
දැනට ක්‍රියාත්මක ඉන්ධන නිකුත් කිරීමේ ක්‍රමවේදය අනුව වාහන අංක තහඩුවේ අවසන් ඉලක්කම ඔත්තේ සහ ඉරට්ටේ අංක පදනම් කර ගනිමින් ඉන්ධන නිකුත් කිරීම සිදු කෙරෙන අතර අද දිනය ඉරට්ටේ අංක සහිත වාහන සඳහා වෙන් කර ඇත. QR කේතය ආශ්‍රිතව මතු වී තිබූ තාක්ෂණික ගැටලු මේ වන විට විසඳා ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළ ද මෙම ක්‍රමය ආරම්භ කර සතියකට ආසන්න කාලයක් ගත වුවද ඇතැම් වාහන හිමියන්ට තවමත් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.














