27 April 2024
#දේශීය

මිය ගිය ඇත් පැටවකුගේ මළ සිරුරක් වන ලැහැබකින් සොයා ගනී

තඹුත්තේගම පොලිස් වසමේ ඔරුගලයාය, සඳසිරිගම ප්‍රදේශයේ රජයේ රක්ෂිතයක් තුළ වෙඩි වැදී මිය ගිය බවට සැක කරන ඇත් පැටවකුගේ මළ සිරුරක් වනජීවී නිළධාරීන් විසින් ඊයේ (15) පස්වරුවේ සොයා ගෙන ඇත.

වයස අවුරුදු 08-09 ක් පමණ වන අඩි 2 අගල් 2 ක් පමණ දිගින් යුතු දළ යුගලක් සහිත අඩි 07 ක් පමණ උස ඇත් පැටවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

රෝගී වී අසාධ්‍ය තත්වයේ ඇත් පැටවකු සිටින බවට ඔරුගලයාය ගම්වාසීන් කළ දැනුම්දීමක් මත, තඹුත්තේගම වනජීවී කාර්යාල නිළධාරීන් විසින් අදාළ ඇත් පැටවා සොයා පෙරේදා (14) මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, ඇත් පැටවා එදින හා පසු දින හමු නොවූ බවත්, ඊයේ (15) පස්වරුවේ සඳසිරිගම ප්‍රදේශයේ වනලැහැබක තිබී ඇත් පැටවාගේ මළ සිරුර හමු වූ බවත් වනජීවී නිළධාරීන් පැවසීය.

මෙම ඇත් පැටවාගේ කකුලක වෙඩි ප්‍රහාරයකින් සිදු වූ තුවාලයක් දක්නට හැකි බවත්, ඇත් පැටවා වෙඩි වැදීමෙන් ඇති වූ තුවාල හේතුවෙන් මිය යන්නට ඇතැයි සැකකරන බවත් වන ජීවී නිළධාරීන් පැවසීය.අද (16) පස්වරුවේ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව මිය යන්න්ට හේතුව නිශ්චිතවම තහවුරු කර ගත හැකි බවද වනජීවී නිළධාරීන් පැවසීය.

ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මියගිය ඇත් පැටවාගේ දේහය දැක ගැනීමට පැමිණෙන අයුරුද දැක ගත හැකි වූ අතර, ස්ථානීය ආරක්ෂාවට තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් යොදවා ඇත.

 

තිසර සමල් – අනුරාධපුර

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *