27 April 2024
#දේශීය

ජපානයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ජපන් භාෂා උපාධි පාඨමාලාවක්

ජපාන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර අන්තර් සබඳතා, ශ්‍රී ලංකාව තුළ ජපන් භාෂා අධ්‍යයන අවස්ථා, තොරතුරු තාක්ෂණික සහාය, කෘෂිකාර්මික තාක්ෂණික සහාය ලබාදීම සහ වැඩිදියුණු කිරීම සාකච්ඡාවක් ඊයේ (13) අධ්‍යාපන අමාත්‍යංශයේදී පැවැත්විණි.

ඒ්, නව ජපන් තානාපති මිසුකොෂි හිඩෙයිකි මහතා (MIZUKOSHI Hideaki) සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතරය.

දැනට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ජපන් භාෂා අධ්‍යයන අවස්ථා වැඩිදියුණු කරමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වඩ වඩාත් ප්‍රතිලාභ ලබාදීමට, ජපන් භාෂා උපාධි පාඨමාලාවක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආරම්භ කෙරෙනු ඇත.

මේ වනවිටත් ශ්‍රී ලංකාවේ හා ජපානයේ විශ්වවිද්‍යාල අතර විවිධ අධ්‍යයනයන් සඳහා වූ අවබෝධතා ගිවිසුම් ක්‍රියාත්මකය. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සබඳතා වර්ධනය කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාල‍ය සහ ජපානයේ මයිජෝ (Meijo) විශ්වවිද්‍යාලය අතර ද, රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය හා ජපානයේ ඔකායාමා (Okayama) විශ්වවිද්‍යාලයේ පරිසර හා ජීවවිද්‍යා උපාධි පාසල අතර ද, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨය හා ජපානයේ රයිකියු (Ryukyu) විශ්වවිද්‍යාලයේ නිවර්තන ජෛව ගෝල පර්යේෂණ මධ්‍යස්ථානය අතර ඒකාබද්ධ අධ්‍යයන සහ පර්යේෂණ පිළිබඳව ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය සහ ජපානයේ ඔකායාමා (Okayama) විශ්වවිද්‍යාලයේ පරිසර ජීවවිද්‍යා උපාධි පාසල අතර ද වන අවබෝධතා ගිවිසුම් යාවත්කාලීන කරමින් නව අවබෝධතා ගිවිසුම් ද අත්සන් කිරීමට හැකිවනු ඇතැයි තානාපතිවරයා පැවසීය.

ලාංකික අධ්‍යාපන ක්ෂේත්‍රයට තව තවත් අධ්‍යයන අවස්ථා , තොරතුරු තාක්ෂණ සහාය ලබාදීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට බදුන් විය. ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ජපානයේ තොරතුරු තාක්ෂණ අංශ සමඟ සබඳතා පවත්වා ගෙන යාම ඉතා අගය කරන අතර එය ඉතා වැදගත් බව තානාපතිවරයා පැවසීය.

කිලිනොච්චිය, කෘෂිකාර්මික අංශයට නිසි පුහුණු කිරීම් හා තාක්ෂණික සහාය ලබා දෙමින් වියළි කලාපයේ කෘෂිකර්මාන්ත සහාය ලබාදීම පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී ඇගයීය. තවද දශක හතක කාළය තුළ ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් ආධාර, ප්‍රදාන, ණය ආධාර තුළින් විසල් මානව හා භෞතික සංවර්ධනයකට යා හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය. නොබෝදා විවෘත කළ කැළණි නව පාලම මෙන් ම, විවිධ යටිතල පහසුකම්, පර්යේෂණ, දුම්රිය මාර්ග, රෝහල්, ජලය, වාරි, සංස්කෘතික අවශ්‍යතාවයන් ඒ අතර වූ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වන අතර ජපන් භාෂාව උගත් ශ්‍රී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා හා ප්‍රමුඛතා වැඩි වශයෙන් ලබාදීම පිළිබඳවත් අගය කළේය.

හරිත ලොවක් සඳහා විදුලි මෝටර් රථවල අවශ්‍යතාවය දැඩිව දැනෙන අතර ඒ සඳහා වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම කෙරෙහි තානාපතිවරයා අවධානය යොමු කළේය. එහිදී අමාත්‍යවරයා පැවසූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන බවත්ය. පළමුව පාසල් බස් රථ වලින් මෙය ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳවත් කතිකා විය.

එමෙන් ම Covid 19 සඳහා වූ එන්නත් අපට අවශ්‍යම අවස්ථාවේ දී ලබාදීම පිළිබඳවත් අමාත්‍යවරයා ස්තුති කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *