27 April 2024
#දේශීය

එප්පාවල නිදන් කැණිම් කරමින් සිටි පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට

එප්පාවල පොලිස් වසමේ කඩිගාව, මැඩියාව වැව් ඉස්මත්ත ප්‍රදේශයේ කුඹුරු යායක මිනිරන් කැනීම සඳහා ලබා ගන්නා ලද බලපත්‍ර උපයෝගී කර ගනිමින් නිධන් ලබා ගැනීමට කැනීම් සිදු කරමින් සිටි පුද්ගලයින් දොලොස් දෙනෙකු හා කැනීම් සිදු කළ බැකෝ යන්ත්‍රයක් ඇතුළු උපකරණ අත්අඩංගුවට ගැනීමට එප්පාවල පොලීසිය ඊයේ (12) කටයුතු කර ඇත.

එප්පාවල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත ඊයේ (12) පස්වරුවේ මෙම වැටලීම සිදු කර තිබුණු අතර, වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් කැනීම් සිදු කරමින් සිටි බවද පොලීසිය පවසයි.

එම කැනීම් සිදු කළ ස්ථානයේ සිටි එප්පාවල, ගම්පහ, තඹුත්තේගම, මාතර හා මිහින්තලය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් 12 දෙනෙකුද පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර විදුලි බළ මණ්ඩල සේවකයකු, ආයුරුවේද දෙපාර්තමේන්තු නිළධාරියකු , ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් වන බවද එප්පාවල පොලීසිය පවසයි.කැනීම් භූමියේ තිබී බැකෝ යන්ත්‍රයක්, ලොරි රථයක්, ජලයේ ගිල්වන වතුර මෝටර් තුනක්, වයර් හා පූජා භාණ්ඩද පොලිස් අතඅංඩංගුවට ගෙන තිබිණි.

වැටලීම සිදු කළ අවස්ථාවේදී සැකකරුවන් විසින් මිනිරන් කැනීම සඳහා පතල් හා භූ විද්‍යා කාර්යංශයෙන්, මහවැලි අධිකාරියෙන් හා පුරාවිද්‍යා දෙපාර්තමන්තුවෙන් ලබා ගත් කැනීම් බලපත්‍ර පොලීසිය වෙත ඉදිරිපත් කරමින් කියා ඇත්තේ අදාළ ස්ථානයේ මිනිරන් කැනීමට බලපත්‍ර ලබා ගෙන ඇති බවයි, කෙසේ වෙතත් අදාළ බලපත්‍ර කොන්දේසිද උල්ලංඝනය කරමින් එහි කැනීම් සිදු කර තිබූ බවත්, මිනිරන් ලබා ගැනීමේ බලපත්‍ර උපයෝගි කර ගෙන පුරවස්තු ලබා ගැනීමට කැනීම් සිදු කර ඇති බවට පෙනී ගිය බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත.

සැකකරුවන් විසින් ඉදිරිපත් කළ බලපත්‍රයන් ව්‍යාජ ඒවාද නැතහොත් නීත්‍යාණූකූල ඒවාද යන්න සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ සිදු කරන අතර, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කීප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (13) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිය.

එප්පාවල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, ඊ.අයි.එස් ඒකනායක මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද කුමාර, උප පොලිස් පරීක්ෂකවරුන් වන ජයම්පති හා රාජපක්ෂ යන මහත්වරුන් හා පොලිස් සැරයන් 2088 වසන්ත, 68606 එරංග යන නිළධාරීන් වැටලීම සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

 

තිසර සමල් -අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *