27 April 2024
#දේශීය

වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිරප්පනය පොලිස් වසමේ වෙල්ලමුදාව ප්‍රදේශයේදී වන අලියකු සිදු කළ පහරදීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, තිරප්පනය, වෙල්ලමුදාව පදිංචි රනාගේ චන්ද්‍රසිරි නම් හැටතුන් හැවිරිදි දෙදරු පියෙකි.හේන් ගොවිතැන ජීවිකාවක් කර ගත් ආර් චන්ද්‍රසිරි මහතා වන අලින්ගෙන් තම වගාව බේරා ගැනීම සඳහා, පැල් රැකීමට හේනට යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත.

ඊයේ(16) සවස 7.00 ට පමණ වෙල්ලමුදාව ගම්මානයේ පිහිටි වෙල්ලමුදාව වැව් ඉස්මත්තේ ඇති තමාට අයත් හේනට යතුරු පැදියකින් යමින් සිටි මෙම පුද්ගලයාට , හේනට මීටර 50 ක් පමණ මෙපිටින් වන අලියා පහරදී ඇත.වන අලි පහරදීමෙන් එම පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.‍

ප්‍රදේශවාසීන් පවසන්නේ නිරන්තරයෙන් වන අලින් තම ගම්මානයට කඩා වදින බවත්, රැයක් -දවාලක් නොමැතිව වන අලින් ගම්මානයේ ගැවසීම හේතුවෙන් තමන් දැඩි බියකින් ජීවත් වන බවයි.ගම්මානයේ පුද්ගලයින් සිව් දෙනෙකු පමණ වන අලි පහරදීමෙන් මේ වන විට ජීවිතක්ෂයට පත් ව ඇති නමුත් මේ වන තෙක් අලි – මිනිස් ගැටුමට විසඳුමක් ලබා දීමට මෙතෙක් බළධාරීන් කටයුතු කර නැතැයි ගම්වාසීන් චෝදනා කර සිටිති. හේනකට වත් යන්න බෑ අලි , ඒ නිසා ගොවියෝ හේන් ගොවිතැන අතෑරලා ඉන්නේ, දැන් කන්නවත් නෑ, අලි ඉන්නේ ගෙවල් අස්සේ දැන්, අලි වැටක් තිබුණට වැඩක් නෑ, ඒවා කඩාගෙන අලි එනවා ගමට.බොරුවට කැලෑවට අලිවැටවල් ගහලා තියෙනවා.අලියෙක්ට මොනවා හරි වුණොත් වනජීවී එකෙන් එනවා, මේ මිනිහෙක් මැරුවට කවුරුත් එන්නේ නෑ,තුවක්කුවක් දෙන්නේ නෑ, ඒ නිසා අලි ගම්වල ඉන්නේ යැයි ගම්වාසීන් පවසති.

වන අලි පහරදීමෙන් ජීවතක්ෂයට පත් පුද්ගලයාගේ දේහය මේ වන විට නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට (18) සිදු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් තිරප්පනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

තිසර සමල් – අනුරාධපුර

Leave a comment

Your email address will not be published. Required fields are marked *