27 April 2024
#දේශීය

දරුවන් සහ කාන්තාවන් සිගමනට යොදා ගැනීම නතර කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

දරුවන් සහ කාන්තාවන් වැඩි වශයෙන් මේ වන විට ව්‍යාපාරයක් ලෙස සිගමනට යොදා ගන්නා බව වාර්තාවී ඇති බැවින් මෙම තත්ත්වය නතර කිරීම සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමට පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

මන්ත්‍රීවරිය මේ බව පැවසුවේ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව පාර්ලිමේන්තුවේදී පසුගියදා රැස්වූ අවස්ථාවේදී ය.

මේ අනුව පොලිසිය, පළාත් පාලන ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු අදාළ ආයතන සමග මූලික සාකච්ඡාවක් පවත්වා එම කටයුතු අරඹන බව ද රාජ්‍ය අමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.

මේ වන විට සිගමන් යැදීම සදහා දරුවන් කුලියට ගැනීම, ඇතැම් දරුවන්ට මත්පෙති ලබා දී සිගමන සදහා යොදා ගැනීම, කාන්තාවන් ව්‍යාජ ලෙස ගැබිනි කාන්තාවන් සේ පෙනී සිටිම ආදිය බහුලව සිදුවන බැවින් සිගමනේ යෙදීම ව්‍යාපාරයක් බවට පත්ව ඇති බව මෙහිදී සාකච්ඡා විය. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සදහා නෛතික ප්‍රතිපාදන පැවතියද ප්‍රායෝගික තලයේ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමේ ගැටලු පිළි‍බදව ද මෙහිදී අවධානය යොමු විය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව සැප්තැම්බර් මස ආරම්භ කිරීමට නියමිත ‍මෙරට යාචකයන් පිළිබද සමීක්ෂණ සමග ද සම්බන්ධ වෙමින් අදාළ දත්ත ලබා ගැනීමට පියවර ගන්නා ලෙස මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයන් විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.

මේ අනුව එළඹෙන සතියේ මේ පිළිබදව විශේෂ සාකච්ඡාවක් සූදානම්කොට කඩිනම් පියවර ගැනීමට මෙහිදී වැඩිදුරටත් තීරණය විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පියංකර ජයරත්න, සංජීව එදිරිමාන්න, මුදිතා ප්‍රශාන්ති, ලලිත් වර්ණකුමාර යන මහත්ම මහත්මීහු මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *