ස්විට්සර්ලන්තයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සහ තානාපති සුමිත් දසනායක මහතා වතිකානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස සිය අක්තපත්‍ර පිළිගන්වා තිබේ. වතිකානු පුරවරයේ අපෝස්තලික මාලිගයේදී පැවැති උත්කර්ෂවත් නිල උත්සවයකදී ඒ මහතා විසින් ශුද්ධෝත්තම XIV වන ලියෝ පාප් වහන්සේ වෙත මෙම අක්තපත්‍ර පිළිගැන්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ශුද්ධෝත්තම පාප් වහන්සේ අවධාරණය කර සිටියේ, අවි ආයුධ මඟින් බලය තහවුරු කරගනිමින් සාමය සෙවීමට උත්සාහ කරන වර්තමාන ලෝකයට සංවාදය සහ සම්මුතිය ප්‍රවර්ධනය කරන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල හදිසි අවශ්‍යතාවක් පවතින බවයි. එමෙන්ම තානාපතිවරුන්ගේ සේවය අදාළ රටවල් සහ වතිකානය අතර විශ්වාසයේ මෙන්ම සහයෝගිතාවයේ වැදගත් පාලමක් වන බව පෙන්වා දුන් උන්වහන්සේ, වඩාත් යුක්තිසහගත සහ සාමකාමී ලෝකයක් උදෙසා සමාජයේ කොන්වී සිටින ජනතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පැහැදිලි කළහ.
මෙම සුවිශේෂී අවස්ථාවේදී තානාපති සුමිත් දසනායක මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උණුසුම් සුභාශිංසන පාප් වහන්සේ වෙත පිරිනමන ලදී. එහිදී ශ්‍රී ලංකාව සහ එහි ජනතාව වෙනුවෙන් යාඥා කරන ලෙස පාප් වහන්සේගෙන් ඉල්ලා සිටි තානාපතිවරයා, 2027 වසරේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ජනාධිපතිවරයා විසින් කරන ලද නිල ආරාධනය ද මෙහිදී යළිත් වරක් සිහිපත් කිරීමට පියවර ගත්තේය.















