අද (16) උදෑසන 8.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය යාපනය දිස්ත්‍රික්කයේ අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව එම අගය මිලිමීටර 90.8කි. පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර ඇත.
ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්‍රධාන ජලාශ 20ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19ක් මේ වන විටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) විසින් දිස්ත්‍රික්ක 13ක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ වාර්තාවලට අනුව පසුගිය 10 වැනිදා සිට අද දක්වා කාලය තුළ තද සුළං සහ වර්ෂාව හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පමණක් නිවාස හානි 78ක් වාර්තා වී ඇත.















