කැලණිය සහ වනවාසල දුම්රිය ස්ථාන අතර අද (16) අලුයම සිදුවූ දුම්රිය පීලි පැන පෙරළීමේ අනතුරට හේතුව දුම්රිය මාරු කරන ස්ථානයේ (Point) යකඩ බාර් සොරකම් කිරීම බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කරයි. දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා සඳහන් කළේ, මාර්ගය මාරු කිරීමට ඇති යකඩ බාර් කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කිරීම නිසා පයින්ටුව ලිහිල් වී මෙම අනතුර සිදුව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් පෑලියගොඩ පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී, දුම්රිය මාර්ගයේ ඇණ ගලවා ප්‍රවාහනය කළ බවට සැකපිට මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු සොයා විමර්ශන ක්‍රියාත්මකයි. මෙම අනතුරින් මගීන් 12 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන්ගෙන් පස් දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් මහතා ප්‍රකාශ කළේය. පොලීසිය විසින් මේ වන විට අනතුර සිදුවූ ස්ථානයේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.















