රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයිනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට සමස්ත ලංකා මහජන කොංග්‍රසය (ACMC) පියවර ගෙන තිබේ.
සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් සභාවට තේරී පත්වූ මොහු, කුරුණෑගල මහ නගර සභාවේ බලය පිහිටුවීමේදී ජාතික ජන බලවේගය වෙත සිය සහාය ලබා දෙමින් නියෝජ්‍ය නගරාධිපති ධුරයට පත්විය. කුරුණෑගල බස් නැවතුම්පොළ සහ පොදු වැසිකිළි පිරිසිදු කිරීමේ ටෙන්ඩරය ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 30ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට ලද තොරතුරකට අනුව, බත්තරමුල්ල ප්‍රදේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (08) සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී. පක්ෂයේ විනය හා ප්‍රතිපත්තිවලට පටහැනිව ක්‍රියා කිරීම හේතුවෙන් පරීක්ෂණ නිම වන තෙක් ඔහුගේ සාමාජිකත්වය මෙලෙස අත්හිටුවා ඇත.














