ශ්රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මෑත කාලයේ අත්කරගෙන ඇති කැපී පෙනෙන ප්රගතිය ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC) සභාපති ෂේක් සල්මාන් බින් ඉබ්රාහිම් අල් කලීෆා මහතාගේ ඉහළ ඇගයීමට ලක්ව තිබේ. ජපානයේ ටෝකියෝ නුවර පැවති ආසියානු පාපන්දු සම්මේලන විශේෂ සම්මේලනයට සමගාමීව, AFC සභාපතිවරයා සහ ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා අතර පැවති විශේෂ හමුවකදී මෙම අදහස් පළ වී ඇත.
ෆිෆා ලෝක ශ්රේණිගත කිරීම්වල ශ්රී ලංකාව ඉදිරියට පැමිණීම කලාපීය පාපන්දු ක්ෂේත්රය තුළ මෙරටට ඇති වර්ධන හැකියාව මෙන්ම අනාගත අපේක්ෂාවන් මැනවින් පිළිබිඹු කරන බව AFC සභාපතිවරයා එහිදී පෙන්වා දී තිබේ. මෙහිදී අදහස් දැක්වූ ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා, ශ්රී ලංකාවේ පාපන්දු ක්රීඩාව සංවර්ධනය කිරීම සඳහා ආසියානු පාපන්දු සම්මේලනය ලබාදෙන අඛණ්ඩ සහාය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කර ඇත. විශේෂයෙන්ම ශ්රී ලංකාවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා උසස් ප්රමිතියෙන් යුත් නව පාපන්දු ක්රීඩාංගණ දෙකක් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳවද ඔහු එහිදී විශේෂ ස්තූතියක් පුද කර තිබේ.
මූල්ය ආධාරවලට අමතරව බිම් මට්ටමේ පාපන්දු සංවර්ධනයේ සිට ඉහළ කාර්යසාධන මට්ටම දක්වා ක්රීඩාවේ විවිධ අංශ ශක්තිමත් කිරීම සඳහා අවශ්ය තාක්ෂණික සහාය සහ යටිතල පහසුකම් ද AFC විසින් අඛණ්ඩව ලබාදෙන බව සඳහන් වේ. ජස්වර් උමාර් මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසර දෙක තුළ ශ්රී ලංකා පාපන්දු ක්රීඩාවේ සැලකිය යුතු වර්ධනයක් ඇති වී ඇති අතර, ජාතික කණ්ඩායමේ ජාත්යන්තර දක්ෂතා, ශ්රේණිගත කිරීම්වල ඉහළට පැමිණීම, දේශීය තරගාවලි සංවර්ධනය සහ ක්රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු වීම තුළින් එය මනාව තහවුරු වී ඇත.
















