අග්‍රහාර සෞඛ්‍ය රක්ෂණ ක්‍රමයේ සාමාජික දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා ලබා දී ඇති කාලසීමාව මෙම මස 31 වැනිදායින් අවසන් වන බව ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති ආචාර්ය විශාකා වනසිංහ මහත්මිය පවසයි. අවසාන මොහොත වන තෙක් පමා නොවී කඩිනමින් තම තොරතුරු යාවත්කාලීන කරන ලෙස ඇය සියලුම රජයේ සේවකයන්ගෙන් ඉල්ලා සිටී.
රජයේ සේවකයන් සහ ඔවුන්ගේ යැපෙන්නන් ඇතුළු ලක්ෂ 30කට ආසන්න පිරිසකට ප්‍රතිලාභ සැලසෙන අග්‍රහාර රක්ෂණ ක්‍රමය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙම දත්ත යාවත්කාලීන කිරීම සිදු කෙරේ. මෙතෙක් දත්ත යාවත්කාලීන කර ඇත්තේ රජයේ නිලධාරීන් ලක්ෂ 6ක පමණ පිරිසක් පමණක් බැවින්, ඉතිරි සාමාජිකයන් ද කඩිනමින් එම කටයුතු නිම කළ යුතුය.
අනාගතයේදී අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සිදු කරන්නේ මෙම නව දත්ත පද්ධතිය හරහා පමණක් බැවින් දත්ත යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය වේ. මෙය සිදු කිරීමෙන් රක්ෂණ හිමිකම් ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන සංඛ්‍යාව අවම වන අතර ප්‍රතිලාභ ලබා දීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම වේ. මීට අමතරව රජයේ සහ පෞද්ගලික රෝහල් මගින් ලබා දෙන විශේෂ වරප්‍රසාද සහ වට්ටම් බාධාවකින් තොරව ලබා ගැනීමට ද මෙමගින් අවස්ථාව සැලසේ.
විවාහය, දරුවන් පිළිබඳ තොරතුරු, ජාතික හැඳුනුම්පත් අංකය, ලිපිනය හෝ දුරකථන අංකවල වෙනස්කම් සිදු වී ඇත්නම් ඒවා නිවැරදිව ඇතුළත් කිරීම අනිවාර්ය වේ. තම ආයතනයේ අග්‍රහාර සම්බන්ධීකාරක නිලධාරියා හරහා මෙම දත්ත ඇතුළත් කළ හැකි අතර, අග්‍රහාර සම්බන්ධීකාරක නිලධාරියෙකු නම් කර නොමැති ආයතන වෙතොත් වහාම එම පියවර ගන්නා ලෙස ද සභාපතිනිය දැනුම් දෙයි.
ලියාපදිංචි වීමේදී යම් තාක්ෂණික දෝෂයක් හෝ ගැටලුවක් මතු වුවහොත් පැය 24 පුරා ක්‍රියාත්මක 0112 0266 00 යන අංකය ඔස්සේ උපකාරක මධ්‍යස්ථානය සම්බන්ධ කර ගත හැකිය. රාජ්‍ය ආයතනවල නිලධාරීන්ට පවතින ගැටලු විසඳා ගැනීම සඳහා 07117 845 47 හෝ 07111 78452 යන ජංගම දුරකථන අංක ද විවෘතව පවතී.
















