27 April 2024
#දේශීය

කෘෂි ඇමැති මාතලේ ගොවිජනතාවගේ ගැටලු ගැන සොයා බැලේ

කෘෂිකර්ම කේෂ්ත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙන මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජනතාවගේ ගැටලු හා ක්‍රියාත්මක ව්‍යාපෘති ප්‍රගතිය සොයාබැලීම සදහා වු මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිසා ලේකම් කාර්යාලයේදි පැවැත්විණි.

මෙහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන හා දෙපාර්තමේන්තු යටතේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍රව ක්‍රියාත්මක ව්‍යාපෘති හා වැඩසටහන්වල ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කෙරිණ . මහ කන්නයේ වගා හානි වූ වී, බඩඉරිඟු හා ලොකු ලූණු බෝග වගා කළ ගොවියන් 322ක් සඳහා රුපියල් මිලියන 2 ක වන්දි මුදල් ප්‍රදානයක් ද කෙරිණ.

මාතලේ දිස්ත්‍රික්කයේ පොහොර තොග අවශ්‍ය ප්‍රමාණයට පවතින බවත් පොහොර හිඟයක් සිදු නොවන බවත් විල්ග්මුව, හසලක ප්‍රදේශවල 50% ක මුල්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් ක්‍රියාත්මක බද්ධ අඹ පැල වගා කිරීමේ ව්‍යාපෘතිය මිලියන 2.8 ක මුදලක් වැය කරමින් සිදුකරන බවත් ව්‍යාපෘතියෙන් ඉතුරුව පවතින රුපියල් ලක්ෂ 150 ක මුදල එම වගාව සිදු කරන ගොවීන් සඳහා අවශ්‍ය වන සෝලා වතුර පොම්ප වැනි වගා උපකරණ ලබාදීම සඳහා සුදුසු බවත් මෙහිදී යෝජනා විය.

එසේම වර්ෂට ආදාලව වැව් ඉදිකිරීමේ හා ප්‍රතිසංස්කරණ කටයුතු 80% ප්‍රමාණයකින් අවසන් වී ඇති බවත් එමගින් වගා කටයුතු සඳහා වන ජල ගැටලූවට සාර්ථක විසඳුමක් ලබාගත හැකි බවත් ප්‍රකාශ විය .

මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා ප්‍රකාශ කළේ ජාතික අවශ්‍යතාවයක් වන දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සිදුකළ යුතු බවත්,එහිදී ගැටලුවක් ව පවතින පශු වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුමක් ලබාදිය යුතු බවත් පළාත තුල පවතින ආහාර බෝග නාස්තිය අවම කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවලක් සැකසිය යුතු බවත්ය.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව් දයානන්ද මහතා ඇතුලු කෘෂිකර්ම කේෂ්ත්‍රයට ආදාල නිලධාරීහු පිරිසක් ඊට සහභාගි වූහ.

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *