පසුගිය ජූනි 03 වැනිදා පස්වරුවේ සිදු වූ බිහිසුණු ගින්නකින් විනාශ වූ, අඟුරුවාතොට බටගොඩ ප්‍රදේශයේ පිහිටි ‘මව්පිය සෙවණ සෙනෙහසේ කැදැල්ල’ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයේ හිමිකරු වන ඉසුරු අනුෂ්ක (සමාජ මාධ්‍යයේ ‘ලොකු අයියා’) ඇප මත මුදාහැර තිබේ. ඒ, අද (11) මෙම නඩුව හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී කරුණු සලකා බැලූ හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මිය, සැකකරු රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළාය. මීට අමතරව සැකකරුට දැඩි විදේශ ගමන් තහනමක් ද පැනවීමට අධිකරණය පියවර ගෙන ඇත. මෙම සිද්ධියට අදාළ නඩුව මෙම මස (ජූනි) 25 වැනිදා නැවත කැඳවීමට නියමිතය.
















