ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් සිටිය යුතු බවත්, එවැනි සංවිධානාත්මක වංචාවල වින්දිතයන් බවට පත්වීමෙන් වැළකී සිටීමට පියවර ගත යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී නීතිවේදී ෆෙඩ්රික් වුට්ලර් මහතා පවසයි. අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
පසුගිය දින කිහිපය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ව්‍යාජ මුදල් නෝට්ටු සමාජගත වීමේ සිදුවීම් බහුලව වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහි විශේෂතම සිදුවීමක් ලෙස කොටිකාවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 55ක කාන්තාවක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCID) විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය සන්තකයේ තිබී ව්‍යාජ ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 6,300ක් (ඩොලර් ලක්ෂ 6කට අධික මුදලක්) සොයාගෙන තිබේ. සැකකාරිය මේ වන විට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මෙම වසරේ (2026) මේ දක්වා කාලය තුළ පමණක් මෙරටින් දේශීය ව්‍යාජ මුදල් නෝට්ටු 251ක් සහ විදේශීය ව්‍යාජ මුදල් නෝට්ටු 6,924ක් පොලිස් භාරයට ගෙන නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
එබැවින් දෛනික බැංකු හෝ වෙළෙඳ ගනුදෙනුවලදී මුදල් නෝට්ටු භාරගැනීමේදී එහි අන්තර්ගත ආරක්ෂිත දාරය, ජල මුද්‍රාව (Watermark) සහ අනෙකුත් විශේෂිත ආරක්ෂක ලක්ෂණ පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. කිසියම් හෙයකින් තමන් වෙත ලැබෙන මුදල් නෝට්ටුවක් පිළිබඳව සැකයක් මතු වුවහොත්, එම නෝට්ටු නැවත සමාජගත කිරීමට (මාරු කිරීමට) උත්සාහ නොකර වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
















