පසුගියදා අහුංගල්ල ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ ‘පොඩි පැටී’ නමැත්තාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස පුද්ගලයින් සිව්දෙනෙකු ඝාතනය කිරීමට සැලසුම් කළ බවට සැක කෙරෙන සිද්ධියක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් අනාවරණය කරගෙන තිබේ. එම මෙහෙයුම අතරතුර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු පලාගොස් ඇති බව වාර්තා වේ.
කොස්ගොඩ, මහඉඳුරුව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගිනිඅවි, පතරොම් සහ විදේශීය නිෂ්පාදිත අත්බෝම්බයක් ඇතුළු භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. වැටලීම අතරතුර සැකකරුවෙකු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවත්, පොලිස් ප්රතිප්රහාරයකින් ඔහු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.
පොලිස් විමර්ශනවලට අනුව, ඔක්තෝබර් 1 වැනිදා අහුංගල්ල වැලිකන්ද ප්‍රදේශයේදී ‘පොඩි පැටී’ හෙවත් සුගත් නුවන් කුමාර ඝාතනය කිරීමෙන් පසු ඇති වූ පළිගැනීමේ සැලසුමක් සම්බන්ධයෙන් මෙම පිරිස පිළිබඳ තොරතුරු ලැබී තිබේ. එම සැලසුම පිටුපස සිටි බවට සැක කෙරෙන පුද්ගලයන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














