අධිබලැති යතුරුපැදි ඇතුළු යතුරුපැදි 21ක් නීති විරෝධීව මෙරටට ගෙන්වූ බවට චෝදනා එල්ල වී සිටි හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු අජිත් ගාල්ලගේ ඇතුළු සැකකරුවන් නිදොස්කොට නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කළේය. පැමිණිලි පාර්ශවය වූ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අදාළ පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන නොයන බව අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙම තීන්දුව ලබා දී තිබේ.
පසුගිය වසරේ ජූලි 12 වනදා හම්බන්තොට කුරුළු උයනේ තිබී රුපියල් කෝටි 25ක් පමණ වටිනා යතුරුපැදි 21ක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඒ අතර අධිබලැති යතුරුපැදි 11ක් ද විය. එම අවස්ථාවේදී එහි සේවකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව හිමිකරු වූ අජිත් ගාල්ලගේ මහතාව ද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
යතුරුපැදි ගෙන්වීම, සන්තකයේ තබාගැනීම සහ එකලස් කිරීම යන චෝදනා යටතේ මෙම නඩුව පවරා තිබූ අතර, අද දින ලබාදුන් තීන්දුව අනුව කුරුළු උයනේ හිමිකරු, එහි ගබඩා පාලකවරයා සහ තවත් සේවකයෙකු සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් විය.














