පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය ඉවත් කිරීම යනු යම් පුද්ගලයෙකුට එරෙහි ක්‍රියාමාර්ගයකට වඩා සමස්ත සංඝ සමාජයට සහ සම්බුද්ධ ශාසනයට සිදුකළ දැවැන්ත අපහාසයක් බව සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය චෝදනා කරයි.
විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් එම සම්මේලනයේ නියෝජ්‍ය සභාපති රොෂාන් මද්දුමගේ මහතා පෙන්වා දුන්නේ අධිකරණ තීන්දුවකට අනුව දඬුවම් විඳීම පිළිගන්නා නමුත්, භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය සුරැකෙන පරිදි කටයුතු කිරීමට අදාළ නිලධාරීන්ට අණපනත්වලින් ප්‍රතිපාදන සලසා ඇති බවයි. එසේ තිබියදී විජාතික බලවේග සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ අත්වැල් බැඳගනිමින් සිංහල බෞද්ධ උරුමය නැසීමේ උගුලක් ක්‍රියාත්මක වන බවට ඔහු චෝදනා කළ අතර, මෙම තත්ත්වයට එරෙහිව ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා එළඹෙන සඳුදා විශේෂ මහා සමුළුවක් කැඳවන බවද වැඩිදුරටත් සඳහන් කළේය.














