බෞද්ධ භික්ෂූන් වහන්සේලා දඹුල්ලේ සිට කොළඹ දක්වා පවත්වනු ලබන ‘සාම පාද යාත්‍රාව’ සමඟ ගමන් කරන ‘ආලෝක’ (Aloka) නම් සුනඛයා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබේ. ඉන්දියාවේදී බේරාගත් සුනඛයෙකු වන ආලෝක, මෙම පාද යාත්‍රාව පුරාම විශේෂ පශු වෛද්‍ය රැකවරණය සහ විශේෂිත ආහාර වේලක් යටතේ ගමන් කරමින් සිටියි.
ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමයේ ලේකම් වෛද්‍ය උදිත බණ්ඩාර මහතා පවසන්නේ, ආලෝකගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා යහපත් මට්ටමක පවතින බවයි. ගමන පුරාම පශු වෛද්‍යවරුන් කණ්ඩායමක් සහ ගිලන් රථයක් සුනඛයා සමඟ ගමන් කරන අතර, දිනපතා ගමනට පෙර සහ පසුව සුනඛයා පරීක්ෂාවට ලක් කෙරේ. ආලෝක දිගු දුරක් ඇවිදීමට උනන්දු වුවද, පශු වෛද්‍යවරුන් ඔහුගේ ඇවිදීමේ කාලය පැයකට හෝ පැය එකහමාරකට සීමා කර ඉතිරි දුර වාහනයක රැගෙන යාමට පියවර ගෙන ඇත.
අප්‍රේල් 21 වනදා දඹුල්ලෙන් ආරම්භ වූ මෙම සාම පාද යාත්‍රාව අද (28) කොළඹ ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් වීමට නියමිතය. ගමන පුරා ආලෝකගේ ආහාර පාන පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇති අතර, ක්ෂණික ආහාර වෙනස්කම් මඟින් ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු මඟහරවා ගැනීම සඳහා ඔහුට පුරුදු ආහාරම ලබා දීමට වෛද්‍ය කණ්ඩායම වගබලා ගෙන තිබේ.














