අමරපුර මහා නිකායේ ආදි කර්තෘ, බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය වැලිතර මහකරාවේ ශ්‍රී ඥාණවිමල තිස්ස මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සේවය අගයමින් අද (ජූලි 08) අමරපුර දිනය සමරනු ලබයි.
පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයන්හිදී බුදු දහමට සහ භික්ෂු සසුනට ඇතිවූ අභියෝග හමුවේ, විශේෂයෙන් මුහුදුබඩ ප්‍රදේශවල ජනතාවගේ ආගමික නිදහස සහ සසුන රැකගැනීම වෙනුවෙන් අමරපුර නිකාය ඉටු කළ සේවය අතිමහත්ය. එකල පැවති කුල පීඩනය හේතුවෙන් උපසම්පදාව ලබාගැනීමේ දුෂ්කරතා මධ්‍යයේ, වැලිතර ඤාණවිමල තිස්ස මාහිමිපාණන් වහන්සේ සිය ජීවිතය පවා පරදුවට තබා බුරුම දේශයට වැඩම කර උපසම්පදාව ලබාගෙන මෙරට සසුන්ගත කිරීමේ දොරටු පුළුල් කළහ.
1802 දී වැලිතර ඤාණවිමල තිස්ස මාහිමිපාණන් වහන්සේගේ පුරෝගාමිත්වයෙන් අඹගහපිටි මූල මහා විහාර පරම්පරාවත්, 1811 දී කපුගම ධම්මක්ඛන්ධ මාහිමිපාණන් වහන්සේගේ පුරෝගාමිත්වයෙන් දඩලු මූල මහා විහාර පරම්පරාවත් බිහි විය. අද වන විට අමරපුර මහා නිකාය පාර්ශ්ව විසි දෙකක් දක්වා වර්ධනය වෙමින් සසුන්කෙත බබළවයි.
අමරපුර දිනය නිමිත්තෙන් අද දින පස්වරු 1.30 ට අම්බලන්ගොඩ කන්දේගොඩ ශ්‍රී නාගපුෂ්පාරාමයේදී සුවිශේෂී වැඩසටහන් රැසක් සංවිධානය කර ඇත.
















