අතිදුෂ්කර දෙහිඅත්තකණ්ඩිය අධ්‍යාපන කලාපයේ මාවනාගම මහ විද්‍යාලයේ සිසු සිසුවියන් පස්දෙනකු, කිසිදා පිහිනුම් තටාකයක් දැක නොතිබුණද, 2026 නැගෙනහිර පළාත් පාසල් ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දක්ෂතා දක්වමින් සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා තිබේ.
තම ප්‍රදේශයේ හෝ අධ්‍යාපන කලාපයේ කිසිදු පාසලක පිහිනුම් තටාක නොමැති වුවද, මෙම දරුවන් ප්‍රදේශයේ වැව්, මහවැලි ගඟ සහ ඇළ දොළවල පිහිනා පුහුණුවීම් සිදු කරමින් මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇත. නැගෙනහිර පළාතේ පිහිනුම් තටාක සහිත ජනප්‍රිය පාසල් රැසක සිසුන් පරාජය කරමින් මෙම සිසුන් ලබාගත් ජයග්‍රහණය විශේෂත්වයකි.
මාවනාගම මහ විද්‍යාලයේ සිසුන් 16න් පහළ සහ 18න් පහළ බාලක/බාලිකා අංශවලින් විවිධ ආරයන් ඔස්සේ (නිදහස් ආර, පසුපස ආර සහ ලය ආර) සමස්ත ලංකා තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇත. විදුහල්පති ඩී. ජී. නිලන්ත සමරතුංග මහතාගේ සහ ගුරු මණ්ඩලයේ දැඩි කැපවීම මත මෙම දරුවන්ට සිය දක්ෂතා එළිදැක්වීමට හැකිවී තිබේ.
















