පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනා ඇතුළු පවුලේ සාමාජිකයින් සහ PTI පක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනය විරෝධය පළ කර තිබෙනවා. සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට නියමිත විරෝධතා සහ පාගමනට පෙර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම ආයතනයේ දකුණු ආසියානු නියෝජ්‍ය ප්‍රාදේශීය අධ්‍යක්ෂ බාබු රාම් පාන්ට් පවසන්නේ, මෙලෙස පුද්ගලයන් ඉලක්ක කිරීමෙන් ඔවුන්ගේ පෞද්ගලික නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ අයිතිය උල්ලංඝනය වන බවයි.
විරෝධතාවක් ආරම්භ වීමට පෙර එය ප්‍රචණ්ඩකාරී එකක් ලෙස සැලකිය නොහැකි බව අවධාරණය කළ ඔහු, සාමකාමීව රැස්වීමට ඉඩ සැලසීම පාකිස්ථාන බලධාරීන්ගේ වගකීමක් බව සඳහන් කළා. පවුල් හෝ දේශපාලන සබඳතා සහ විරෝධතාවලට එක්වීමට සැලසුම් කිරීම පමණක් පදනම් කරගෙන අත්අඩංගුවට ගත් අය වහාම නිදහස් කරන ලෙසද ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ඉල්ලා සිටිනවා.















