රට පුරා හිඟයකින් තොරව ඕනෑ තරම් පොහොර පවතින බවත්, ඒවා ගොවිජන සේවා මධ්‍යස්ථාන මෙන්ම පෞද්ගලික වෙළඳසැල් හරහා ද මිලදී ගත හැකි බවත් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා අවධාරණය කරයි. කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.
පොහොර බෙදාහැරීමේදී මීට පෙර පැවති ගැටළු මේ වන විට නිරාකරණය කර ඇති අතර, ගොවීන් සඳහා ලබාදෙන මූල්‍ය සහනාධාරය රජය විසින් සැලකිය යුතු ලෙස ඉහළ නංවා ඇත. ඒ අනුව මීට පෙර හෙක්ටයාර දෙකක් සඳහා ලැබුණු රුපියල් 30,000 ක සහනාධාරය වර්තමාන රජය රුපියල් 60,000 දක්වා වැඩිකර තිබේ. යම් ගොවියෙකුට හෙක්ටයාර දෙකක වගා බිම් ප්‍රමාණයක් පවතින්නේ නම් ඔහුට රුපියල් 130,000 ක මුදලක් ගෙවන බව ද හෙතෙම සඳහන් කළේය. මීට අමතරව වී වගා කරන ඉඩම්වල අතිරේක බෝග වගා කරන ගොවීන් සඳහා ද සහනාධාර පිරිනැමේ.
රජය විශාල පිරිවැයක් දරමින් සහන මිලට පොහොර ලබාදෙන බවත්, ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා රුපියල් 9,900 ක් සහ 10,200 ක් වැනි මිලකට පොහොර ලබාදෙන බවත් ඔහු පැවසීය. වෙළඳපොළේ රුපියල් 15,000 ක් පමණ වන පොහොර මිල අඩුවෙන් ගොවීන්ට ලබාදීම සඳහා සමාගම් වෙත වැඩි මුදලක් ගෙවීමට රජය කටයුතු කර ඇත. මෑතකදී මෙරටට පැමිණි පොහොර නැවෙන් ද ටොන් 7,500 කට අධික ප්‍රමාණයක් රජය මිලදී ගෙන ඇති අතර, සියලුම ගොවි සංවිධාන සහ ගොවි නායකයන්ගේ එකඟත්වය මත සකස් කළ විධිමත් ක්‍රියාවලියක් මේ වන විට ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.














