පවතින ආර්ථික තත්ත්වය හමුවේ වාහන මිල ඉහළ දැමීම සඳහා රජය කිසිදු බදු වැඩි කිරීමක් සිදු කර නොමැති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි. සිරස නාලිකාවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ වාහන මිල ඉහළ යාම රජයේ තීරණයක් නොව වෙළඳපොළ තුළ සිදුවූ අත්තනෝමතික හැසිරීමක ප්‍රතිඵලයක් බවයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරයා දැක්වූ වැඩිදුර කරුණු අනුව වාණිජ වාහන හෝ කුඩා වාහන සඳහා නොව, පෞද්ගලික මෝටර් රථ වැනි වාහන පරිභෝජනය මාස තුනක කාලයකට ප්‍රමාද කරන ලෙස රජය ඉල්ලීමක් කර තිබුණි. එම තීරණයත් සමඟ වෙළඳපොළ තුළ වාහන මිල 50%කින් පමණ ඉහළ නංවා ගැනීමට ඇතැම් පාර්ශව කටයුතු කර ඇති අතර, එය රජය පැනවූ බදු නිසා සිදු වූවක් නොවන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. රටේ ඩොලර් සංචිත කළමනාකරණය කර ගැනීම සහ අත්‍යවශ්‍ය දේ සඳහා ප්‍රමුඛතාවය ලබා දීම රජයේ අරමුණ බවත්, ආර්ථිකය හකුළුවන්නේ නැතිව ඉදිරියට ගෙන යාම රජයේ උපාය මාර්ගය බවත් ඔහු පැවසීය. ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සහ ඩොලරයේ අගය ඉහළ යාම හමුවේ වුවද, රජය මිල වැඩි කරනවා වෙනුවට භාණ්ඩාගාරය සතු මුදල් උපයෝගී කරගනිමින් පීඩාවට පත් කණ්ඩායම් වෙත සහන ලබා දීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















