කළුතර බන්ධනාගාර පරිශ්‍රය තුළ සිදුවූ සිරකරුවන්ගේ දරුණු පහරදීමකට ලක්වූ බන්ධනාගාර නියාමකවරයෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.
‘බී’ වාට්ටුවේ සේවයේ නිරතව සිටි මෙම නිලධාරියා, මත්ද්‍රව්‍ය හා මිනීමැරුම් චෝදනා මත ‘ඩී’ වාට්ටුවේ රඳවා සිටින රැඳවියෙකු නීතිවිරෝධී ලෙස එම ස්ථානයට පැමිණීම පිළිබඳව ප්‍රශ්න කර ඇත. එහිදී උරණ වූ එම රැඳවියා නිලධාරියාගේ කමිසයෙන් අල්ලා ඇති අතර, අනතුරුව ඔහුගේ සෙසු සගයන් ද එක්ව නියාමකවරයාව බිම පෙරළාගෙන අමානුෂික ලෙස පහර දී තිබේ.
බන්ධනාගාර ආරංචි මාර්ග පවසන පරිදි, මෙම පහරදීම සංවිධානාත්මක අපරාධ කල්ලි ක්‍රියාකාරිකයෙකු වන ‘බෝම්බුවල නවින්’ නැමැත්තාගේ අනුගාමිකයන් පිරිසක් විසින් මෙහෙයවා ඇත. සිද්ධියෙන් අනතුරුව, ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ ප්‍රධාන සැකකාර රැඳවියා වහාම ක්‍රියාත්මක වන පරිදි වාරියපොළ බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට බන්ධනාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
















