අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව සමාජ ආරක්ෂණ හා ප්‍රජා බලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා තහවුරු කර තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබූ මෙම ආයතනයේ හදිසි ගින්නක් ඉකුත් ජුනි 03 වන දින පස්වරු 5.10 ට පමණ හටගෙන තිබුණි.
ගින්න ඇති වන අවස්ථාවේ මානසික ආබාධ සහිත පුද්ගලයින් 70 දෙනෙකු මධ්‍යස්ථානය තුළ සිට ඇත. අසල්වාසීන් සහ පොලීසිය විසින් 52 දෙනෙකු නිරුපද්‍රිතව මුදාගත් අතර, තුවාල ලැබූ 8 දෙනෙකු රෝහල්ගත කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත. ගින්න නිවාදැමීමෙන් පසු බේරාගැනීමට නොහැකි වූ පුද්ගලයින් 10 දෙනෙකුගේ මෘත දේහ සොයාගෙන ඇති අතර, සමස්ත මධ්‍යස්ථානයම ගින්නෙන් විනාශ වී ඇත.
හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදුකළ මූලික විමර්ශනවලදී, ජල මෝටරයක් ආසන්නයේ තිබූ මල්ටි ප්ලග් එකකින් විදුලිය කාන්දු වී, අසල ගොඩගසා තිබූ මෙට්ට 80 කට පමණ ගින්න ඇවිලී පැතිර ගිය බවට සැක පළ කෙරේ.
සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හොරණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහු ජුනි 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, එම මධ්‍යස්ථානයේ තිබූ සිසිටීවි (CCTV) දර්ශන ඇතුළත් DVR යන්ත්‍රය ද පොලිස් භාරයට ගෙන ඇත. මුදාගත් පිරිස මේ වන විට යුද හමුදාවේ සහායෙන් ගල්පාත පිහිටි වෙනත් සුරැකුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබේ.
















