විදෙස්ගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා ව්‍යාපෘති සේවාවන්ද සහිතව ඌන උපයෝජිත ඉඩම් ලබා දීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වැවිලි හා ප්‍රජා යටිමහල් පහසුකම් අමාත්‍යාංශයේ 2026 වසරේ අය-වැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අය-වැය යෝජනා පිළිබඳ සාකච්ඡාවකට ජනාධිපති කාර්යාලයේදී එක්වෙමිනි.
මෙම සාකච්ඡාවේදී අනාවරණය වූ සහ අවධානය යොමු වූ ප්‍රධාන කරුණු:
ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපතිවරයා අවධාරණය කළේය. රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක කිරීම සහ මීට පෙර සමාගම් සඳහා ඉඩම් ලබා දීමේදී අත්සන් තැබූ ගිවිසුම් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා කෙරිණි.
රජයෙන් ලබාදෙන ඉඩම් සම්බන්ධයෙන් ශක්තිමත් ගිවිසුම් ඇති කරගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම කටයුතු සොයාබැලීමට මුදල් අමාත්‍යාංශය මඟින් කමිටුවක් පත් කිරීමටද උපදෙස් දුන්නේය.
තේ, පොල්, රබර් සහ කජු, තල් ආදී භෝග වගාවන්හි සහ යටිසැළැස් සංවර්ධනයේදී පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් සහ ලාභයක් මෙම වසරේ අත්වී තිබේ. විශේෂයෙන් ඇල්කඩුව වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, හලාවත වැවිලි සමාගම, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ කළුබෝවිටියාන තේ කර්මාන්තශාලා සමාගම යන රාජ්‍ය වැවිලි සමාගම් 6 වේගයෙන් තමන්ගේ ලාභය ඉහළ නංවා ගනිමින් සිටී.
මලෛගම් ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය නිසි කාලය තුළ අවසන් කර ජනතා අයිතියට පවරා දීමේ අවශ්‍යතාව මෙන්ම, දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වැවිලි නැවත වගා කිරීමේ සහන වැඩපිළිවෙළේ ප්‍රගතිය ද මෙහිදී විමසා බැලුණි.
මෙරට තේ වගාවෙන් හෙක්ටයාර් 60,000ක් පමණ කුඩා තේ වතු වන අතර, තේ ගම්මාන 500ක ව්‍යාපෘතිය ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් සමඟ ඒකාබද්ධ කර කඩිනමින් අවසන් කරන ලෙස උපදෙස් ලබා දී ඇත. එසේම, මෙරට වාර්ෂික කජු අවශ්‍යතාවෙන් වැඩි ප්‍රමාණයක් මෙම වසරේ සපුරා ගැනීමට අපේක්ෂා කරන අතර, උතුරු සහ නැගෙනහිර පළාත්වල හෙක්ටයාර් 15,000ක කජු වගා කිරීමේ විභවතා පවතින බව අනාවරණය විය.














