යටිතල පහසුකම් වර්ධනය කරමින්, නවීන තාක්ෂණ භාවිතයන් යොදා ගනිමින් හා මානව සම්පත ශක්තිමත් කරමින් ජනතා විශ්වාසය දිනාගන්නා තැපැල් සේවාවක් මෙරට තුළ ගොඩනංවන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය.
ජයන්තිපුර ඉදි කළ අංගසම්පූර්ණ නව තැපැල් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රුපියල් මිලියන 29.5ක මුදලක් වැය කර ජයන්තිපුර නව තැපැල් කාර්යාලය ඉදි කර ඇති අතර, දිට්වා සුළි කුණාටුව ඇතුළු අනපේක්ෂිත තත්ත්වයන් හේතුවෙන් මෙහි ඉදිකිරීම් යම් ප්‍රමාදයකට ලක් විය.
තැපැල් සේවයේ යටිතල පහසුකම්, ප්‍රවාහන, තාක්ෂණික හා මානව සම්පත් ඌනතා මඟහරවා ගනිමින් එය ආදායම් උපයන රාජ්‍ය සේවාවක් බවට පත් කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කරමින් සිටී.
පසුගිය වසරේදී තැපැල් කාර්යාල නවීකරණ ව්‍යාපෘති 206ක් සඳහා රුපියල් මිලියන 600ක් ද, නව තැපැල් කාර්යාල 14ක් සහ දඹුල්ල ප්‍රාදේශීය හුවමාරු මධ්‍යස්ථානය ඉදි කිරීම සඳහා තවත් රුපියල් මිලියන 600ක් ද ආයෝජනය කර ඇත.
ප්‍රවාහන පහසුකම් සඳහා රුපියල් මිලියන 588ක් වැය කර නව රථවාහන ලබා දී ඇති අතර, තැපැල් කාර්යාල ඩිජිටල්කරණය සඳහා රුපියල් මිලියන 74කට අධික මුදලක් යොදවා තිබේ.
තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල 4,100කට අධික ජාලය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන දිවයින පුරා බෙදාහැරීමේ ප්‍රබල ජාතික ජාලයක් බවට පත් කිරීම රජයේ අරමුණයි.














