යහපත් අධ්‍යාපනයක් ලබාදීමේ පරම අභිලාෂයෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ විහාරස්ථානයකට භාරදුන් 10 හැවිරිදි පිරිමි දරුවකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්කිරීමේ චෝදනාවට වරදකරු වූ එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනමකට බරපතළ වැඩ සහිත වසර 24ක සිරදඬුවම් නියම කිරීමට අනුරාධපුර විශේෂ මහාධිකරණය පියවර ගෙන තිබේ.
සිරදඬුවමට අමතරව වින්දිත දරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කළ අතර, අදාළ වන්දි මුදල නොගෙවන්නේ නම් අමතර වසර 2ක සිරදඬුවමක්ද විත්තිකාර හිමිනමට නියම කෙරිණි. මෙම නඩු විභාගය පැවැත්වෙන අවස්ථාවේදී විත්තිකරු අධිකරණය මඟහැර ප්‍රදේශයෙන් පලාගොස් සිටීම හේතුවෙන්, ඔහු නොමැතිවම (අනුපස්තිථියෙන්) නඩුව විභාග කර තීන්දුව ප්‍රකාශයට පත්කළ මහාධිකරණය, වරදකරු වූ හිමිනම වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වමින් විවෘත වරෙන්තුවක්ද නිකුත් කර ඇත.
මේ අතර, පැවිදි කිරීම සඳහා විහාරස්ථානයට භාරදුන් පළමු දිනයේම කුඩා පිරිමි ළමයෙකුට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ ගල්නෑව ප්‍රදේශයේ තවත් හිමිනමකටද ළමා අපරාධ පිළිබඳ අනුරාධපුර විශේෂ මහාධිකරණය විසින් පසුගියදා දැඩි දඬුවම් පමුණුවනු ලැබීය.
















