හමුදා ඇඳුම් ඇඳගත් මුහුණු ආවරණය කරගත් තුවක්කුකරුවන් එකවරම පාසල් පරිශ්‍රයට කඩා වැදී වෙඩි තැබීම් සිදුකරද්දී, ප්‍රදේශවාසීන් සහ දරුවන් දැඩි භීතියෙන් යුතුව ජීවිතය බේරාගැනීමට ඒ මේ අත දිවගොස් ඇත. අනතුරට මුහුණ දුන් මවක වන අදුකේ බලෝගුන් (Aduke Balogun) මාධ්‍ය වෙත පවසා ඇත්තේ, තමන්ගේ 6 හැවිරිදි දියණිය බේරී ආවද, 8 හැවිරිදි අනෙක් දියණිය වන කවුසාරත් (Kausarat) සන්නද්ධ තුවක්කුකරුවන් විසින් පැහැරගෙන ගිය බවයි.
මෙම මාරක පාසල් ප්‍රහාරය නිරිතදිග නයිජීරියාවේ සිදුවූ පළමු මහා පරිමාණ පාසල් සිසුන් පැහැරගැනීම ලෙස වාර්තා වන අතර, ආරක්ෂක අංශ සැක කරන්නේ ‘බොකෝ හරාම්’ (Boko Haram) ත්‍රස්ත සංවිධානයෙන් කැඩී ගිය සන්නද්ධ කල්ලියක් මෙම ප්‍රහාරය පිටුපස සිටින බවයි. එරට ලබන ජනවාරි මාසයේ පැවැත්වීමට නියමිත තීරණාත්මක මැතිවරණයට පෙර සිදුවූ මෙම බිහිසුණු සිදුවීමත් සමඟ නයිජීරියාවේ ජාතික ආරක්ෂාව පිළිබඳව දැඩි අර්බුදයක් මතුව ඇති අතර, ප්‍රහාරයට ලක්වූ කෘෂිකාර්මික ගම්මානවල ජනතාව මේ වන විට දැඩි බියෙන් යුතුව තම නිවාස අතහැර පළා යමින් සිටිති.
















