ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළැඹීමට සියයට 50ක (50-50) අවස්ථාවක් පවතින බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ජනාධිපති රාජ්‍ය තාන්ත්‍රික උපදේශක අන්වර් ගර්ගාෂ් (Anwar Gargash) මහතා පවසයි. කෙසේ වුවද, ඉදිරියේදී නැවතත් මෙවැනි යුදමය වාතාවරණයක් හටගැනීම වැළැක්වීම සඳහා කලාපීය අස්ථාවරත්වයට බලපා ඇති මූලික හේතුවලට දේශපාලනික විසඳුම් සෙවිය යුතු බව හෙතෙම අවධාරණය කරයි.
ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කරමින් සහ ලෝකයේ තෙල් මෙන්ම ස්වාභාවික වායු (LNG) ප්‍රවාහනයෙන් පහෙන් එකකට දායක වන ‘හෝමුස් සමුද්‍ර සන්ධියේ’ (Strait of Hormuz) වෙළෙඳ කටයුතුවලට බාධා පමුණුවමින් පවතින මෙම ඇමෙරිකා – ඉරාන යුද්ධය අවසන් කිරීම සඳහා මේ වන විට පකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් සිටියි.
ප්‍රාග් නුවර පැවැති ‘ග්ලෝබ්සෙක්’ (Globsec) සමුළුවට එක්වෙමින් අන්වර් ගර්ගාෂ් මහතා ප්‍රකාශ කළේ, ඉරානය සැමවිටම තමන් සතු දේශපාලන කාඩ්පත් පිළිබඳව ඕනෑවට වඩා තක්සේරු කරමින් සාකච්ඡා දිගු කරන ස්වභාවයක් පවතින බවයි. මේ හේතුවෙන් ඔවුන් අතීතයේදී ද බොහෝ අවස්ථාවන් මඟහැරගෙන ඇති අතර, මෙවර ද එවැනි වැරැද්දක් සිදුනොකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ඔහු පැවසීය. එමෙන්ම කලාපයට කඩිනම් දේශපාලන විසඳුමක් අවශ්‍ය බවත්, දෙවන වරටත් හමුදාමය ගැටුමක් ඇති වුවහොත් තත්ත්වය තවදුරටත් සංකීර්ණ වනු ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම යුද සමය තුළදී ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිවිල් යටිතල පහසුකම්, බලශක්ති පද්ධති මෙන්ම ඩුබායි සහ අබුඩාබි අවට පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර තිබුණි. ඒ පිළිබඳව සඳහන් කරමින් ගර්ගාෂ් මහතා අනතුරු ඇඟවූයේ හෝමුස් සමුද්‍ර සන්ධියේ බලය ඉරානය සතු වුවහොත් එය භයානක පූර්වාදර්ශයක් වනු ඇති බවයි. මෙය යුරෝපයේ බලශක්ති සුරක්ෂිතතාවයට සහ වෙළෙඳ අවශ්‍යතාවලට ඍජුවම බලපාන බැවින්, හෝමුස් සමුද්‍ර සන්ධිය යුද්ධයට පෙර පැවති පරිදි නිදහස් ජාත්‍යන්තර මුහුදු මාර්ගයක් ලෙස නැවත ස්ථාපිත කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.














