වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක කාලය තුළ ඉතිරි කරන ලද දැවැන්ත මුදල් සම්භාරය මේ වන විට රටේ ජනතාවගේ සුවපහසුව සහ සුභසාධනය වෙනුවෙන් යොදවමින් සිටින බැවින්, ජනතාව තවමත් ඉන්නේ ආණ්ඩුව සමඟ බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පවසයි.
පසුගියදා අලපලාදෙනිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා ප්‍රකාශ කළේ මෙරට දේශපාලන ඉතිහාසය තුළ ජනතාව වෙත ඍජුවම ලබාදිය හැකි උපරිම ප්‍රතිලාභ ප්‍රමාණය, රජය විසින් ඉතිරි කරගන්නා ලද මෙම විශාල මුදල් සම්භාරය හරහා මේ වන විට ජනතාව වෙත මුදාහරිමින් පවතින බවයි. විශේෂයෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය, සෞඛ්‍ය සේවාව මෙන්ම දිළිඳුකම පිටුදැකීමේ සහන වැඩසටහන් ඇතුළු අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය මහජන සේවාවන් නංවාලීම වෙනුවෙන් එම ප්‍රතිපාදන වෙන් කරමින් පවතින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
රජය පොදු මහජනතාව වෙනුවෙන් නිසි පරිදි වගකීම් ඉටුකරමින් සිටින නිසා තමන්ට මහජනතාව අතරට යාමට කිසිදු බියක්, ගැටලුවක් හෝ ප්‍රශ්නයක් මතු වී නොමැති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














