අරලගංවිල පොලිස් වසමේ ඇල්ලේවැව ප්රදේශයේදී අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු සහ කුඩා දරුවෙකු මියගොස් තිබේ.
2026 ඔක්තෝබර් 23 වැනිදා උදෑසන සිදුවූ මෙම අනතුරෙන් විදුලි සැර වැදුණු දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 41ක් වන ඇල්ලේවැව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මියගිය දරුවා වයස අවුරුදු 5ක් වන අතර, ඔහු මරණකරුගේ ජාඇල ප්රදේශයේ පදිංචි ඥාති දරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
වන අලින්ගෙන් ආරක්ෂා වීම සඳහා නිවස වටා ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණ සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මියගිය දෙදෙනා බේරා ගැනීමට උත්සාහ කළ තවත් පුද්ගලයන් දෙදෙනෙකුටද විදුලි සැර වැදී ඇති අතර, ඔවුන් දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.













